ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට රුසියානු ජනපති පුටින් එකඟ වූ බවත් ඔවුන් “ඉදිරි දිනවලදී” මුහුණට මුහුණ හමුවිය හැකි බවත් ක්‍රෙම්ලිනය පැවසීය.
බ්‍රහස්පතින්දා පස්වරුවේ ධවල මන්දිරය පැවසුවේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීම “විවෘත” බවයි. ධවල මන්දිර නිලධාරියෙකු මීට පෙර ප්‍රකාශකර තිබුණේ ජනාධිපති පුටින්ට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හමුවීමට සිදුවන බවයි.
ජනාධිපති ට්‍රම්ප් ඊයේ පැවසූ පරිදි, “රුසියානුවන් ජනාධිපති ට්‍රම්ප් හමුවීමට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපතිවරයා මෙම රැස්වීම සඳහා විවෘත බවයි “ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ඒබීසී ප්‍රවෘත්ති සේවය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.
රුසියානු ‘ස්පුට්නික්’ පුවත් සේවය, “ට්‍රම්ප් හමුවීමට සුදුසු ස්ථානවලින් එකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය” බව බ්‍රහස්පතින්දා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් මාධ්‍ය වෙත පවසා ඇති බව වාර්තා කළ අතර, ද්විපාර්ශ්වික සමුළුව සඳහා ස්ථානයක් ගැන තීරණය දී නොතිබුණද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායක මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ක්‍රෙම්ලිනයේදී හමුවූ ජනාධිපති ව්ලැදිමීර් පුටින්, සාකච්ඡා පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසු ස්ථානයක් විය හැකි බව යෝජනා කළේය. “එවැනි හමුවක් සංවිධානය කිරීමට අපට උදව් කිරීමට කැමැත්තෙන් සිටින බොහෝ මිතුරන් අපට සිටී. මේ අපගේ මිතුරෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයායි,” ඔහු පැවසීය. මෙම රුසියානු-ඇමරිකා සමුළුව සඳහා දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර තිබෙන බව ‘ද ගාඩියන්’ වාර්තා කර තිබිණ.

ට්‍රම්ප් සහ පුටින් අතර හමුවක් සඳහා ස්ථානයක් සුරක්ෂිත කර ඇති බවට ක්‍රෙම්ලිනය කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ධවල මන්දිර නිලධාරියෙකු ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ලෙවිට්ගේ ප්‍රකාශය නිකුත් විය. එම නිලධාරියා පැවසුවේ, ට්‍රම්ප් හමුවීම සිදුවීමට ස්ථානයක් නියම කර නොමැති බවත් ජනාධිපති පුටින් හා සෙලෙන්ස්කිද හමුවිය යුතු බවත්ය.
“ජනාධිපති ට්‍රම්ප්, ජනාධිපති පුටින් සහ ජනාධිපති සෙලෙන්ස්කි යන දෙදෙනාම හමුවීමට කැමතියි, මන්ද ඔහුට මෙම කුරිරු යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය නිසා. මෙම රැස්වීම් පිළිබඳ විභවයන් හරහා ධවල මන්දිරය කටයුතු කරමින් සිටින අතර සුදුසු වේලාවට විස්තර ලබා දෙනු ඇතැයි” ලෙවිට් පැවසීය.
“අපි යුරෝපයේ අපගේ හවුල්කරුවන් සමඟ අඛණ්ඩ සන්නිවේදනයක යෙදී සිටිමු, යුක්රේනය සමඟ අඛණ්ඩ සන්නිවේදනයක යෙදී සිටිමු. අපගේ අවසාන ඉලක්කය වන්නේ මෙම ගැටුම අවසන් කිරීම, පාර්ශවයන් මේසයට ගෙන ඒම, සටන් විරාමයක් සහ දිගුකාලීන හා කල් පවතින සාමයක් දැකීමයි,” යනුවෙන් ධවල මන්දිර ප්‍රකාශයක් තවදුරටත් පෙන්වාදේ.
ක්‍රෙම්ලිනයේ පුටින් උපදේශක යූරි උෂාකොව් බ්‍රහස්පතින්දා පෙරවරුවේ පවසා තිබුණේ, “ඉදිරි දිනවලදී පුටින් සහ ට්‍රම්ප් අතර හමුවක් සිදුවනු ඇති” බවත්, “සමුළුවේ කටයුතු දැන් ආරම්භ වී ඇති” බවත්ය.
පසුගියදා, ධවල මන්දිර විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් විසින් පුටින්, ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර ත්‍රෛපාර්ශ්වික හමුවක් පිළිබඳ අදහස මතු කළ නමුත් ඉදිරි හමුව ට්‍රම්ප් සහ පුටින් අතර පමණක් සිදුවන බව උෂාකොව් පැවසූ බව ක්‍රෙම්ලිනය පැවසීය.
යුක්රේනය සමඟ සාමය ඇති කර ගැනීමට හෝ දැඩි සම්බාධකවලට මුහුණ දීමට රුසියාවට ට්‍රම්ප් විසින් සිකුරාදා ලබා දී තිබූ අවසාන දිනයට පෙර විට්කොෆ් බදාදා මොස්කව් ගියේය.
මේ අතර, 2022 පෙබරවාරි මාසයේදී පුටින්ගේ හමුදා යුක්රේනය ආක්‍රමණය කළ විට ආරම්භ වූ රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා යුක්රේනය සහ යුරෝපය සාකච්ඡාවල කොටසක් විය යුතු බව සෙලෙන්ස්කි ඊයේ ( 7 – බ්‍රහස්පතින්දා) පැවසීය.

“යුද්ධය යුරෝපයේ සිදුවෙමින් පවතින අතර යුක්රේනය යුරෝපයේ අනිවාර්ය කොටසකි. අපි දැනටමත් යුරෝපා සංගමයට ඇතුළත් වීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටිමු” යනුවෙන් සෙලෙන්ස්කි ‘ට්විටර්’ හි සටහනක ලිවීය. “එබැවින්, යුරෝපය අදාළ ක්‍රියාවලියන්හී කොටස්කරුවෙකු විය යුතුය. “
“අපගේ ඒකාබද්ධ අදහස් පෙළගැස්වීම සඳහා” යුක්රේනය, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල ආරක්ෂක නිලධාරීන් බ්‍රහස්පතින්දා රැස්වන බව සෙලෙන්ස්කි පැවසීය.
“යුක්රේනය රැස්වීම්වලට බිය නොවන අතර රුසියානු පාර්ශවයෙන්ද එම නිර්භීත ප්‍රවේශයම අපේක්ෂා කරයි.”
කෙසේ වෙතත්, “ට්‍රම්ප් සමඟ ද්විපාර්ශ්වික හමුවක් සඳහා වන සූදානම කෙරෙහි අවධානය යොමු කිරීමට අපි මුලින්ම යෝජනා කරමු” යි, පුටින්ගේ සහායක යූරි උෂාකොව් මොස්කව්හි මාධ්‍යවේදීන්ට පැවසූ බව ‘ද ගාඩියන්’ වාර්තා කරයි.
- ජයන්ත වැලිවිට – විදෙස් පුවත් ඒජන්සි ඇසුරෙනි.