තරුණ සිනමා අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ වාලම්පූරි හෙවත් හීන හතහමාරක් සිනමාපටය මෑත කාලයේ සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයන් කැන්දූ සිනමාපටයක් බව රහසක් නොවේ. රාත්‍රී දර්ශනවාරයක පරිධියේ සිනමාශාලාවල හවුස්ෆුල් වීම යනු මෙරට සිනමා කර්මාන්තයට සුබ දසාවකි. මෑත කාලයේ ලංකේය සිනමාවේ තරුණ රැල්ල ඇරඹී ඇති බව කිව හැකි ය.

වාලම්පූරි රාත්‍රී දර්ශනයේ හවුස්ෆුල් වුණ සිනමා ශාලාවක්
)තරුණ සිනමාකරුවන්ගේ ආගමනය සිනමාශාලාවලට ප්‍රේක්ෂාව කැඳවීමක්ව තිබේ. ජගත්ගේ “රහස් කියන කඳු” වෙනසක් ගෙනාවේ ය. රාම්ගේ “නෙළුම් කුළුණ” ඉහළටම නැංගේ ය. ලකාගේ “වාලම්පූරි” නාදය තවම හොඳට ඇහෙමින් තිබේ. කාලයේ පීඩාවෙන් පසුව වුවද “බහුචිතවාදියා” නැරඹීමට පිරිස් එති. අරුණ ජයවර්ධනගේ “මාරියා”ද, අප හිතවත් චමින්ද ජයසූරියගේ “ෆාදර්” ද, තිසර ඉඹුලානගේ “මෝඩ තරිඳු” ද ළඟ එන බව සැලවේ.
සියලු අවංක සිනමා මැදිහත්වීම් කෙරේ මැදහත් සිතින් බැලීම යුක්තියුක්ත වුවද නිර්මාණකරුවන් පුම්බා උඩ යැවීමෙන් මේ නැග එන රැල්ල පවත්වාගැනීම කළ නොහැකි ය. ප්‍රචාරණයට යොදා ගන්නා සටහන්, මිත්‍රත්වයේ වොයිස් කට්, ඇගයීම්, හග් (වැළඳ ගැනීම්) වලින් එහාට සිනමාපට සම්බන්ධ කතිකාවන් ඇති කරගත යුත්තේ සිනමා කර්මාන්තයටත් නිර්මාණකරුවාටත් සුගතියක් වනු පිණිස ය. මරාගෙන මැරෙන්නට සූදානමින් සිටින දායක සභා පන්නයේ ෆෑන් බේස්වලින් මේ අඩුව සපිරෙන්නේ නැත.
ලක්මාල් ධර්මරත්න සිනමාවට පිවිසෙන්නේ අතිසාර්ථක සහ ජනාදරයට පත් වූ රූපවාහිනී කතාමාලාවක යශෝරාවය ද සමඟිනි. ඔහුගේ නිර්මාණාත්මක වෑයම් ජනප්‍රියවාදී පැත්තට බර බව පෙනේ.
වාලම්පූරි සිනමාපටයද ප්‍රස්තුත කරගන්නේ චිරාත් කාලයක් තිස්සේ නොවිසඳී වධ දෙන තරුණ අසහනය (පට්ට ගැසූ වචනයක්) හෙවත් තාරුණ්‍යයේ අර්බුදයයි. සිහින වෙත ළඟාවීමට කෙසේ හෝ වලිකන තාරුණ්‍යයක කතාන්දරයයි. සිනමාපටය මුලදීම, (වාර්තාමය හැඩයක් දක්වන) මෙරට පාලනය කළ පාලකයන් තරුණ ප්‍රශ්න ගැන කරන ලද ප්‍රකාශවලින් ම ලක්මාල් එය ප්‍රේක්ෂකයාට ඇඟිල්ලෙන් ඇනම පෙන්වයි.
මෙයට පෙර ලාංකේය සිනමා ඉතිහාසයේ බොහෝ දෙනෙක් විවිධ අන්දමින් මේ ප්‍රස්තුතය වෑයම් කළෝ ය. ධර්මසේන පතිරාජ වැනි කෙනෙක් එය වඩාත් කලාත්මක ඉසව්වක් වෙත ගෙන ගිය අතර ජනප්‍රියවාදී ප්‍රවේශයන්ද ගණනාවකි. එහිදී අප වාලම්පූරි සහ සමපාත කරන්නට කැමැති වන්නේ, වසන්ත ඔබේසේකර 1976 දී අධ්‍යක්ෂණය කරන ලද “දියමන්ති” චිත්‍රපටයටයි. එහි කතා වස්තුව, සිද්ධි ගලා යෑම, ජනප්‍රියවාදී ප්‍රවේශය මේ හා යම් තාක් සමාන බැවිනි. එහිද තාරුණ්‍යය මුහුණ දෙමින් සිටින අර්බුදය ස්පර්ශ කරන්නේ ජනප්‍රියවාදී ඉසව්වකිනි. උබර්තෝ පසොලිනි “මචං”, බූඩි කීර්තිසේන “මිල්ලෙ සොයා” ආදී සිනමාපට ද මේ පැසෙහි ලා සැලකිය හැකි ය.

වසන්ත ඔබේසේකර - දියමන්ති - 1976
)මෙයට පෙරද රොඩ්නි ජොන්ක්ලාස් සහ බර්මින් ලයිලි ප්‍රනාන්දු විසින් 1981 දී “වාලම්පූරි” නමින් සිනමාපටයක් නිපදවූ අතර එහි විජය ගීතා ආදීන් රංගනයෙන් දායක වූ බව සිහිකටයුතු ය.
නූතන තරුණ පරම්පරාවේ ගැටලුව සිනමාත්මකව විදාරණය කිරීමටත්, නව දැනුම් කලාපයක් හෝ චින්තන පරිධියක් ප්‍රේක්ෂාවට ලබා දීමට වාලම්පූරි හෙවත් හීන හතහමාරකට හැකි වී තිබේ ද? එහිලා අධ්‍යක්ෂවරයා සාර්ථක වී ඇති ද?
සිනමාපටයක තිරරචනය සම්බන්ධයෙන් වන බර තැබුම සුළු පටු නොවේ. එය සිනමා පටයේ සාර්ථකත්වයේ මූලික පදනමයි. විශේෂයෙන් යථාර්ථවාදී රීතියකින් ඇවිද යන සිනමාපටයක එය එසේ ය.
කතාව ත්‍රාසජනක ආරේ කතාවකට සුදුසු කතා තේමාවකි. ඔවුන් එය මනාව ගොඩ නංවයි. එහෙත් අඩුලුහුඬුතා කිහිපයකි. ආරම්භයේ සහ සමහර දර්ශන තල සිහිගන්වන්නේ කාලවකවානු සිනමාවක මෙනි. සිඩ්නිලා සෙට් වෙන ඇන්ජෙලෝලාගේ සැලොනය අද ගමකවත් දකින්නට නොලැබෙන 80 දසකයේ වැන්නකි. කතාව ගලාගෙන යද්දී එය සමකාලීන කතාවක් බව පෙනේ. ගම ගැන සලකතත් සමකාලීන ගම ලක්මාල්ට මගහැරී හෝ වැරදි ලෙස වැටහී ඇති සෙයකි. නගරය සහ ගම අතර දුරේ වෙනස මෙතරම් පරතරැතිව තිබුණේ සෑහෙන කලකට පෙරයි. තොරතුරු තාක්ෂණයේ පුපුරායෑම විසින් ඒ භේද සුණුවිසුනු කළේ ය. එබැවින් ගමෙන් කොළඹ ඇවිත් ගොඩට ආ විට “නාටු බල්ලන් හපන කිඹුලන්” දැන් ඇත්තේ නැත.

සිඩ්නි ඇතුළු පිරිස සුළු ගේම්කාරයෝ බව කතාව අපට කියයි. එහෙත් ඔවුන්ගේ ජීවන තත්වය සෑහෙන තරම් දුක්මුසුය. එහෙත් මේ කාලයේ අස්වැසුම ලබන්නන්ගේ ජීවන තත්වයවත් ඔතරම් දුක්මුසු නැත. සිඩ්නි වසන ගෙය මෙවැනි සුළු ගේම්කාරයෙකුට නිගා දෙන පන්නයේ නිවසකි. එවැනි නිවසක මෙතරම් දරිද්‍රව ජීවත් වන්නට සිඩ්නිට හේතු කාරණා නැත. කුඹුරක් ද තිබෙන, ජහුටාද නටන, ඉඳහිට පොඩි ගේමකින් ගණනක්ද සොයාගන්නා මිනිසුන් ඇත්තටම නම් සෑහෙන ජීවන තත්වයක සිටිති. එනයින් එතැන විශ්වාසය බිඳ වැටේ. අනෙක් චරිත ගැන පවා සාධාරණ ලෙස ගොඩ නංවා ඇති බවක් කිව නොහැකි ය. සාමිගේ වැනි චරිතයක් සහ පොලිස් සමන් වැනි චරිතයක් බලගතු ලෙස ගොඩ නැගී තිබේ.
සමහර දේ කියන්නට අධ්‍යක්ෂවරයා වෑයම් කර ඇතත් එය කියවාගන්නට හැකිදැයි ප්‍රශ්නයක් ඇත. බිළාලයෙකු වඩාගෙන, නිල ඇඳුමක් මෙන් රක්ත වර්ණ ගවොමක් දවටාගෙන සිටින මැඩම් සිසිකාගේ රූපය සංකේතාත්මකව යමක් කියන්නට තතනන සේ වුවත් වුවත් එයින් කියැවෙන විශේෂ දෙයක් නැත. එම චරිතය සලකතත් මුලින් ඉහළ පන්තියේ ලිංගික කර්මාන්තයේ බලවතියක් ලෙස දැක්වී, සාමි ඝාතනය වුණු පසු ඇගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් පෙරකී තැනින් සෑහෙන පහළ තැනකට චරිතය ඇද වැටේ.

පොලිස් සමනා ගැන සලකන්න. ඔහුගේ චරිතය සාර්ථකව ගොඩ නැංවුණු චරිතයකි. එහෙත් කතාව අස්සේ හුදෙකලා පොලිස් පරීක්ෂකවරයෙකුට ඒ සා පැතිරුණු බලයක් ඇති දේශපාලන බලවතුන් සමඟ ඔට්ටු විය හැකි ද? අගනුවර වීදි පුරා ලුහුබඳිනු ලැබූ පිරිස ඔවුන්ගෙන් මිදී නැවත පෙර සිටි ප්‍රසිද්ධ හෝටලයටම පැමිණ සුවසේ සිටීම විශ්වසනීයත්වය හෙළන්නකි.
මුලින් කිව්වා සේ සමහර තැනක අධ්‍යක්ෂවරයා දේවල් ඇඟිල්ලෙන් ඇන ප්‍රේක්ෂකයාට කියන්නට යන්නේ ප්‍රේක්ෂාව ගැන ඇති අවිශ්වාසය නිසාද නැතිනම් තමන්ට රූප අස්සේ එය කියන්නට නොහැකි වූ නිසාද යන්න ගැටලුවකි. එවැනි එක් අවස්ථාවක් නම්, චින්තකයා වාලම්පුරිය ඉස්සූ බවට ඉඟි දීමයි. එකවනම සැලුන් එකේ කවරය අස්සෙන් වාලම්පුරි දෙක ඇද ගත්තේ නම් ප්‍රේක්ෂාවට ඒ ප්ලොට් ට්විස්ටින් එක දැඩිව දැනෙනු ඇත. මෙවැනි අනෙක් අවස්ථාව නම් ව්‍යාජ වාලම්පුරි නිර්මාණය කිරීම ගැන වචනයක් ගාණේ විස්තර කරමින් කියන්නට යෑමයි. ප්‍රේක්ෂකයාට එය කෙළමෝලෙන් ඇන කියන්නට දෙයක් ද? සැන රූප කිහිපයක් තිරය මතා ගලා යවා ඔහුට එය කිව හැකිව තිබුණි.
කතාවේ විශ්වසනීයත්වය බිඳෙන අනෙක් තැන නම්, පොලිස් සමනා පොලිස් අත්අඩංගුවට පත්වී අනතුරුව මැඩම්ගේ නවාතැනට නැවත පැමිණි වේලේ සැබෑ වාලම්පුරිය ඇන්ජෙලෝ විසින් ඉස්සීමයි.
තිරපිටපත් එනයින් අතිසාර්ථක එකක් නොවන බව කිව යුතු ය. එහි එවැනි අඩුලුහුඬුතා තිබේ.
චිත්‍රපටයේ රංගන කාර්යය සලකන්නේ නම්, සියලු දෙනා පාහේ සිය උපරිමය මීට එක් කරන්නට සමත්ව ඇත. සිඩ්නි ලෙස ප්‍රියන්ත සිරිකුමාරගේ රංගනය ගැන බොහෝ දෙනා කතා බහ කළ අතර එය සම්මුතියක් ලෙස පිළිගැනෙන තරම් ය. වසන්ත මොරගොඩ සහ සැවොම පාහේ තම කොටස ඉටු කර තිබේ. උදයන්ති කුලංතුගගේ රංගන හැකියාව විශේෂ ඇගැයීමකට ලක් විය යුතු ය. දර්ශන් ධර්මරාජ් සිය රංගනයෙන් පෙන්වා සිටින්නේ, සිංහල සිනමාවේ තමාගේ අහිමි වීම නිසා ඇතිව තිබෙන දරුණු හිඩැසයි.

සරත් කොතලාවලගේ රංගනය ගැන යමක් කිව යුතු ය. සරත් යනු රංගනයේ ඉතා බුහුටිකම් ඇත්තෙකු බව අවිවාදිත ය. එහෙත්, නිමලසිරි පන්නයේ චරිත දැන් සරත්ට සෑහෙන ඒකාකාරි බව කිව යුතු ය. නිමලසිරිගේ චරිතයේ ස්වභාවය ගැන විමසූ පමණින් ම චරිත වරණයේදී සරත් සිහියට නැගෙන බව සැබෑ මුත් එවැනි පන්නයේ චරිත ගණනාවක් කර ඇති බැවින් ඔහුට එවැන්නකට සාධාරණයක් කිරීමට දැන් හැකියාවක් නැත. එහි එන්නේ සරත්ගේ සුලබ රංගනයයි. නිමලසිරි වැනි චරිතයකට රංගවරණයක් කරද්දී එක්කෝ සරත් මගහැර යා යුතු ය. නැත්නම් සරත් වෙන පරාසයක් එහි දක්වාලිය යුතු ය. සිනමාවේ නොවෙතත්, එයා දැන් බැඳලා ටෙලි කතාවේ සරත් දක්වන විස්මයාවහ රංගනය ඔහුගේ වපසරිය ගැන කියා දෙන්නකි.
කාලිංග දේශප්‍රියගේ කැමරාකරණය අගය කළ හැකි මට්ටමක පවතී. අගය කළ හැකි රූප ගණනාවකි. (සිඩ්නිගේ නිවසේ අඳුර සහ බාහිර එළිය සහිත රූපය සෑහෙන තරම් අගය කළ හැකි සංකේතාත්මක ඇඟවුම් සහිත කැමරා දර්ශනයකි.) එවැනි කිහිපයක්ම තිබේ. ඒ අතර අවැසි තැන්වලට සමීප රූප භාවිතය හේතුවෙන් රංග ශිල්පීන්ගේ භාව නිරූපණ නිලයන් සැරට අල්ලා ගැනීමට හැකිව ඇත.

සිනමාපටයේ තේමාව සහ දර්ශන කුළුගැන්වෙන ලෙස සංගීත සංයෝජනය කිරීමේ ගෞරවය චින්තක ජයකොඩි වෙත ලැබිය යුතු ය. බඹරු අඬන්නා ගීතය මිමිණෙන ගීතයක් බවට පත් වන්නකි. සිනමාපටයක් වැදගත්ම සංරචකයක් ලෙස සංගීතය සේ ම මෙම ප්‍රධාන වන ගීතයක් සැලකිය හැකි ය.
තරිඳු කාරියවසම්ගේ සංස්කරණයද අගය කුළ යුතු එකකි. ත්‍රිලර්මය සිනමාපටයකට ගැලපෙන ලෙස ළඟ ළඟ කෙරෙන ඡේදන Cross-cutting, Jump Cuts අවස්ථාව දැනවීම සිදු කර තිබේ.
පසුතල සහ ආලෝකකරණය ද රංග වස්ත්‍ර නිර්මාණය ද අගය කළ හැකි තැනක තිබේ.
සමස්තයක් ලෙස ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරි හෙවත් හීන හතහමාරක්, අගය කළ යුතු මට්ටමේ නිර්මාණයක් වුවද ප්‍රචාරණය උදෙසා කළ අගය කිරීමට තරම් නොවන්නක් බව කිව යුතු ය. එසේ වෙතත්, මෑත සිංහල සිනමාවේ සැලකිය යුතු තරම් සිනමාපටයක් බවද ඒ සමඟම පිළිගත යුතු ය. තාරුණ්‍යය දෙස ස්වීය දැක්මකින්, ස්වීය තිරකතාවකින් මෙපමණ වැඩක් නංවන්නට කළ වෑයමත්, එවැන්නක් සාර්ථක කළ හැකි බව කර්මාන්තයට පෙන්වීමත් ගැන අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ කණ්ඩායමට ස්තුති කළ යුතු ය.