වෙනිසියුලාවේ මධ්‍යම කැරකස් වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඇමරිකාව විසින් අත්අඩංගුවට ගත් ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිද වන සිලියා ෆ්ලෝරස් ඊයේ (05) දින නිව්යෝක් නුවර මැන්හැට්න්හි ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ තමන්ට එල්ලවී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කිරීමට වෙනිසියුලානු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.
ඔහුගේ බිරිඳ ද ඇයට එල්ල අකර තිබෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන ලදී.
නිකලස් මදුරෝ අධිකරණය හමුවේ පවසා තිබුණේ “මම නිර්දෝශී, මම යහපත් මිනිසෙක්, මම කිසිදු වරදක් කර නැහැ” යනුවෙන් වන අතර තමන් තවදුරටත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශ කර ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ඔවුන්ට චෝදනා කර සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම, ත්‍රස්තවාදය, අවි ආයුධ ජාවාරම් සිදුකර ඇති බව දක්වමිනි. එහෙත් ඊට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමටද ඔහු කටයුතු කර නැත.
මෙවන් පසුබිමක පසුගිය 03 වැනිදා අලුයම ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝග මත වෙනිසියුලාවේ අගනුවර වෙත ප්‍රහාර එල්ල කර ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලදී.
ජනාධිපති මදුරෝ අත්අඩංගුවට ගැනීමත් සමඟ කැළඹීමට ලක්ව තිබෙන වෙනිසියුලාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් එරට උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් අන්තර්වාර ජනාධිපති ලෙස පත්ව සිටින අතර ඇය මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවයි.
ඊට ප්‍රතිචාර ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ රොඩ්‍රිගස් සමඟ කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් නමුත් යම් හෙයකින් ඇය වැරදි තීන්දු ගතහොත් විශාල වන්දියක් ගෙවීමට වෙනිසියුලාවට සිදුවනු ඇති බවයි.
නිව්යෝක් නුවර බෘෘක්ලින්හි මෙට්‍රපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රදවා සිටින වෙනිසියුලානු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට ආදලව ඊයේ දිනයේදී අධිකරණ කටයුත්ත විනාඩි 40ක පමණ කාලයක් තිබී ඇති අතර යළි නඩුව මාර්තු 17 කැඳවීමට නියමිතයි.
කෙසේවෙතත් ඇමරිකාව විසින් වෙනිසියුලාව වෙත එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් හා ජනාධිපතිවරයා සහ බිරිඳ බලහත්කාරයෙන් රැගෙන යාමට ලෝක ප්‍රජාවෙන් විරෝධය එල්ල වී තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙම ක්‍රියාව හෙළා දැක තිබේ.
එමෙන්ම මේ වන විට චීනය පැහැදිලි ලෙසම වෙනිසියුලානු ජනාධිපතිවරයා නිදහස් කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා තිබෙන අතර ඔවුන් තවදුරටත් පවසන්නේ ජාත්‍යන්තර නීතියට සියලු රටවල් යටත් විය යුතු බවයි.
මේ වන විට වෙනිසියුලාව පත්ව සිටින තත්ත්වය අනුව ඇමරිකාව ඔවුන්ට අවශ්‍ය පරිදි වෙනිසියුලාව මෙහෙයවනු ඇති බවට විචාරකයින් පෙන්වා දෙයි.





