ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය විපක්ෂයට ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කර තිබෙන මෙහෙයුමට සම්බන්ධ නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.
ඒ අනුව, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අද පස්වරුවේ කැඳවා තිබෙන හමුවට සිය පක්ෂය සහභාගී නොවන බව ද ඔහු සඳහන් කළේය.
විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පලාත් පාලන ආයතනවල බලය ඇල්ලිය යුතු බවට වන මතය සමඟ තම පක්ෂය එකඟ නොවන බවයි සාගර කාරියවසම් පෙන්වාදුන්නේ.
තව ද සිය පක්ෂයේ ඉලක්කය 2029 වසරේ එළැඹෙන ජනාධිපතිවරණය බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.