රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කිරීමට බව එම සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ වෙයි.
අද සිට ආරම්භ කරන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග තුළදී රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම, අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම, රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම, මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සදහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම, වැනි වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එළැඹීමට නියමිතයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 26 වැනිදා සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණු අතර ගැටළු සඳහා විසඳුම නොදීම මත පසුගිය 26 වැනි දින රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ඔවුන්ගේ ගැටලු සඳහා සාධනීය විසඳුමකට එළැඹ එය ප්‍රකාශයට පත් කිරීම සඳහා පැය 48ක කාලයක් ලබා දීමට කටයුතු කළේය.
එහෙත් ඊටද නිසි ප්‍රතිචාර නොමැති මත අද සිට අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් තීරණය කර තිබේ.
මේ අතර අද සිට විශේෂඥ වෛද්‍යවරුන්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසා තිබුණි.
ඊට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වා තිබුණි.
රජෙය් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරත වුවද තම සංගමයේ කිසිදු වෛද්‍යවරයෙකු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කළේ සිය සංගමයේ සාමාජිකයින් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදුකරන බවයි.





