/ Dec 06, 2025

අපිට අවශ්‍යයි යුක්තිය පිළිබඳ හඬ. අපි එයට පණ දෙනවා – ජනපති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි

අපට අවශ්‍ය වන්නේ යුක්තියේ හඬ.ඒ හඬට පණ ලබා දීමයි අපට අවශ්‍ය යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරය ඇතුළු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා ඒ බව පැවසුවේය.

එහෙයින් අංක එකට සත්‍ය ගවේෂණයක් දෙක යුක්තිය පසිඳලීම බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

”අප්‍රේල් 21 මේක වෙලා නොවැම්බර් වෙනකන් මාස හයක් බලයේ හිටියා. උණු උණුවේ ප්‍රශ්නය තිබුණ වෙලාව. විසඳගන්න බැරි වුණා. ඊට පස්සේ මොකද වුණේ. ඝාතනය කළා යැයි සැක හිතෙන කණ්ඩායම අතට බලය ගියා. බලය ගියාට පස්සේ ගොඩක් සාක්ෂි වහල තියෙන්නේ. හංගල තියෙන්නේ. කොළ ඉරල තියෙන්නේ. මතක තියාගන්න පොත්වල කොළ ඉරල තියෙන්නේ. ලංකාවේ මෑත කාලයේ සිදුවුණ හැම ඝාතනයක්ම දින තුනක් යන්නට මත්තෙන් අපි අත්අඩංගුවට අරන් තියෙනවා. උසාවියේ ඝාතකයා යනකොට පුත්තලමට මෙහායින් අත්අඩංගුවට ගන්නේ. වැලිගම ඝාතකයා දින තුනෙන් ගන්නවා කිව්වා. ගත්තා. මේවා මේ උණු උණුවේ එතකොට සාධක තියෙනවා. දුරකථන සබඳතා තියෙනවා. ගමන්කරපු විදිහ තියෙනවා. ආයුධ ගෙනාපු කෙනා තියෙනවා. ඔක්කොම අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි මේවා පැරණි ඒවා. පැරණි ඒවා විතරක් නෙවෙයි වරදකරුවන් අතට බලයත් ගියා. බලය ගියපු නිසා තමයි ආපු හැටියේ ලංකාවේ පළමුවෙනි වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 500කට වැඩි පිරිසකට රට තහනමක් ගත්තා. ඔක්කොම අයින් කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. ශානි අබේසේකරව හිරේ දැම්මා. පරීක්ෂකයෝ අරන් ගිහින් හිරේ දාලා. පරීක්ෂණ ආයතන බිඳ වට්ටලා, නිලධාරීන් මාරු කරලා,අවුරුදු පහක් එහෙම ගිහිල්ලා පරීක්ෂණයක් දියත් කරන එක අමාරුයි. හැබැයි මම අපේ පරීක්ෂණ කණ්ඩායම කෙරෙහි විශාල විශ්වාසයක් තබා තියෙනවා. ඔවුන් මේ පරීක්ෂණය විධිමත්ව කරල වරදකරුවන් නීතිය හමුවට පමුණුවන බව මම දන්නවා. ඒ නිසා මම කියන්නේ මේ යුක්තිය පසිඳලීමේ සිද්ධිය කිසිසේත්ම දඩයම් කිරීමක් ලෙස ගන්න එපා. අපි හැමකෙනාටම සාධාරණය ඉටුකරමින් තමයි පරීක්ෂණය යන්නේ. කිසිකෙනෙකුට බලපෑම් කරමින් නොවේ. ඒ නිසා තමයි අධිකරණයට ගිහින් රීට් ආඥාවක් ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි අධිකරණයට කියන්නේ නෑ ඕක දෙන්න එපා කියල. චූදිතයාටත් සාධාරණය ඉෂ්ට කරමින් තමයි අපි පරීක්ෂණය කරන්නේ. ඒ නිසා මේ යුක්තිය ගවේෂණය කිරීම අපි හරියට කරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top