/ Nov 13, 2025

අනුරගේ ඇඟේ ඉන්න හිට්ලර් එලවන්න ජනතාව වෙනුවෙන් අපි කෝන්තර පැත්තකින් තිබ්බා – ගම්මන්පිල

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජීවත් වීමේ අයිතිය ජනතාවට ලබාදීම වෙනුවෙන් දේශපාලන මතවාදී වෙනස්කම්, කෝන්තර පසෙකින් තබා සමඟි වූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.

අවස්ථා කිහිපයකදීම ප්‍රචණ්ඩත්වයෙන් බලය ලබාගැනීමට උත්සහ කළ ජවිපෙට ඔවුන් නොසිතූ ලෙස බලය ලැබුණු අතර අනුර දිසානායකගේ ඇඟේ නිදා සිටි හිට්ලර් දැන් අවදි වෙමින් තිබෙන බව ජිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

”එදා හිට්ලර්ගේ ජර්මනියේ පැසිස්ට්වාදය මතුවෙනකොට ඒකට සමස්ත ලෝකයම භීතියෙන් ඇලලුනාම ලෝකයේ අනෙක් රටවල් තමන්ගේ ඓතිහාසික කෝන්තර අමතක කරලා මතවාදී වෙනස්කම් අතහැරලා මිත්‍ර සන්ධානයක් ගොඩනැගුවා. ධනවාදී ඇමරිකාවට නායකත්වය දුන්නු රූස්වෙල්ට්, සමජවාදී සෝවියට් දේශයට නායකත්වය දුන්නු ජෝසප් ස්ටර්ලින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණු බ්‍රිතාන්‍යට නායකත්වය දුන්නු චර්චිල්, තමන්ගේ තිබුණු මතවාදී වෙනස්කම්, ඓතිහාසික කෝන්තර සියල්ල අමතක කරලා ෆැසිස්ට්වාදය පරාජය කරන්න ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න සමඟි වුණා. අද ශ්‍රී ලංකාව තුළත් ෆැසිස්ට්වාදය මතුවෙමින් පවතින්නේ. තුන්වරක් ප්‍රචණ්ඩත්වයෙන් බලය ලබාගන්න උත්සහ කරපු ජනතා විමුක්ති පෙරමුණට ප්‍රචණ්ඩත්වයෙන් බලය ලබාගන්න නොහැකි වුණත් නොසිතූ මොහොතක නොහිතූ විදිහට ජවිපෙ ඔඩොක්කුවට බලය කඩා පාත් වෙලා තියෙනවා. අවාසනාවට එදා ජනාධිපතිතුමාගේ, අනුර දිසානායක මැතිතුමාගේ ඇඟ තුළ නිදාගෙන හිටිය ඇඩොල්ෆ් හිට්ලර් දැන් අවදි වෙමින් පවතිනවා. ඒ නිසා වගකිවයුතු විපක්ෂයක් විදිහට අපි කල්පනා කළා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය රැකදෙන්න. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න, අපේ තිබෙන දේශපාලන මතවාද පැත්තකින් තියල අපේ තියෙන දේශපාලන කෝන්තර පෞද්ගලික කෝන්තර සියල්ලම පැත්තකින් තියල සමඟි වෙලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජීවත් වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න කියල ආණ්ඩුවට බලකරන්න” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top