/ Jul 02, 2025

”වැලිගම සජබ සභාපති අපේක්ෂයා අපරාධකරුවෙක්” ; මාලිමාවෙන් හෙළිදරව්වක්

වැලිගම ප්‍රාදේශීය සභාවට සමඟි ජන බලවේගයෙන් පත් කිරීමට සූදානම් වන සභාපතිවරයාට ප්‍රාදේශීය සභාවට වඩා වැඩි කාලයක් උසාවියේ ගත කිරීමට සිදු වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක අර්කම් ඉල්යාස් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම දින මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සමඟි ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේය.

“මිනීමැරුම්, ආයුද ළඟ තබා ගැනීම්, බියවැද්දීම් වගේ වැරදි ගණනාවකට චෝදනා එල්ල වූ පුද්ගලයෙක් තමයි සමඟි ජන බලවේගය විසින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරට පත් කරන්න උත්සහ කරන්නේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ 1305/2015 අංකය යටතේ මොහු අපරාධකරුවෙක් විදියට නම් කරලා තියෙනවා. ඔහු සම්බන්ධයෙන් අපි හොයාගත්ත තොරතුරුවලින් කිහිපයක් විතරක් ප්‍රකාශ කරන්නම්.

ටී 56 වර්ගයේ පතොරම් ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට අරගෙන සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට භාර දීලා තියෙනවා. මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන මාස 06ක අත්හිටවූ සිර දඬුවමක් දීලා තියෙනවා. ආයුද පෙන්වා ඇඟලුම් කම්හල් සේවිකාවක් බිය ගන්වා රන් භාණ්ඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා. එ සම්බන්ධයෙන් ලබන මාසයේ උසාවියේ පෙනී ඉන්න ඕන. මිරිස්ස ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර සිදු වුණු ගැටුමක් සම්බනධයෙන් සහ ඝාතනයකට සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා. ඒ නඩුව විභාග වෙමින් පවතිනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ මේ සිද්ධිය සිදු වූ දවසේදිත් ඒ පුද්ගලයා තමන්ට විරුද්ධ අපරාධ නඩු දෙකකට මාතර උසාවියේ පෙනී සිටිය යුතු වුණා. මේ පුද්ගලයා සභාවේ සභාපති උනොත් සභාවේ වැඩ කරනවට වඩා උසාවි ගාණෙ තමයි යන්න සිද්ධ වෙන්නේ.” යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

“විපක්‍ෂයේ සභාපති පුටුව නිතරඟයෙන්ම කෙනෙක් බුක් කරගෙන කෙනෙක් හිටියා එයාගේ මැර බලය, පාතාල බලය පාවිච්චි කරලා. නමුත් උප සභාපති තනතුරට තුන් දෙනෙකුගේ පොරයක් තිබුණා. ඒ හිටපු ප්‍රාදේශීය සභා සභාපති බැට්ටගේ, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වුණ දෙනගම රාහුල හාමුදුරුවෝ සහ චතුර ගලප්පත්තිගෙ කණ්ඩායමේ අපේක්‍ෂකයා අතර. උප සභාපති පුටුව බෙදාගන්න බැරුව මේ අය විසින් සභාව කල් දාන්න මේ පැහැර ගැනීම කරාද කියලා අපිට සාධාරණ සැකයක් තියෙනවා. මොකද විපක්‍ෂයේ සාධාරණව හිතන 04ක් හෝ 05ක් අපිට සහයෝගය දෙන්න එකඟ වෙලා හිටියා. ඉතින් අපිට එදා ඡන්දෙ ඕන වෙලා තිබුණේ.” යනුවෙන් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා ද අවධාරණය කළේ මෙම පැහැර ගැනීම විපක්‍ෂයේ සැලසුමක් මත සිදු වූ බවයි.

“සජිත් ප්‍රේමදාස විපක්‍ෂනායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන ගමන් බිම් මට්ටමේ හැසිරෙන විදියත් එක්ක අපිට ඇත්ත තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේදි දකිනවා විපක්‍ෂ නායකවරයාට විපක්‍ෂ නායකකම හරියට කරන්න බැරි වෙලා තියෙනවා කියලා. ඉතින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ වැලිගම, මාතර ඇතුළෙත් විපක්‍ෂ නායකවරයාට කන්ට්‍රෝල් නැති අය ඉන්නවා.

වැලිගම ආසන සංවිධායකවරු අතර ගැටුම් තියෙනවා. පළාත් පාලන ඡන්දෙදි සභාපති ධුරයට සජබෙ ඇතුළෙන් ගැටුමක් ආවා. ඒකට සජිත් මොකද්ද කරේ? පාතාල සාමාජිකයෙක්ව මැතිවරණයට දාලා ඒ මුදල්, ගර්ජන, තර්ජන, බියගැන්වීම් ඔස්සේ ඔහු සභාවට ගෙනත් ඔහු සභාපතිවරයා කරන්න උත්සහ ගන්නවා. එතකොට ආසන සංවිධායකට දැනෙනවා ඔහුගේ බලය නැති වෙලා යනවා කියලා. ඉතින් ඔවුන්ගේ පාර්ශ්වයෙන් මෙම සභාව පිහිටුවීම අරමුණු කරගෙන අපේ සහෝදර මන්ත්‍රීවරු පැහැර ගැනීම සිදු උනා කියලත් අපිට සැකයක් තියෙනවා.”

මෙම මාධ්‍ය සාකච්ඡාවට ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ කණ්ඩායම් නායක නීතිඥ චින්තක හේවාපතිරණ, වැලිගම නගර සභාවේ සභාපති මොහොමඩ් අෆ්රාස් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top