/ Sep 16, 2025

තලේබාන් ඇෆ්ගනිස්තානය : ලෝක බලවතුන් සහ 9\11 කෙළිබිම – ii කොටස

මෙම ලිපියේ පළමු කොටසට මෙතැනින් පිවිසෙන්න.

තලේබාන් ඇෆ්ගනිස්තානය : ලෝක බලවතුන් සහ 911 කෙළිබිම – i කොටස

සීතල යුද්ධයට මැදිවූ ඇෆ්ගනිස්තානයේ දේශපාලන කුණාටුව

1976 දී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කළේ ඇමරිකා එක්සත් ජනපදය “කිසිම ආකාරයකින් ඇෆ්ගනිස්තානයේ ‘ආරක්ෂාව’ සඳහා කැපවීම හෝ වගකිම දැය යුතු නැත” ලෙසයි. නමුත්, සෝවියට් හිතවාදී කැරලිකරුවන් 1978 අප්‍රේල් මාසයේදී බලය අල්ලාගත් විට ඇෆ්ගනිස්තානය ගැන ඇමරිකානු කරුණු වෙනස් විය. බොහෝ විට, 1979 සිට 1989 දක්වා පැවති මුල් අවධිය, අද ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය විසින්ද කිසිදු සඳහනකින් තොරව බැහැර කර ඇත. නමුත් එදා සිදු වූ දේ තේරුම් නොගෙන, එම රටේ ජනතාවගේ වත්මන් ව්‍යසනකාරී තත්ත්වයට පත්වීම තේරුම් ගැනීම අසීරු ය.

1978 දී, හදිසියේම ඇති වූ සෞර් (අප්‍රේල්) විප්ලවය ඇෆ්ගනිස්තානය සහ ලෝකය කම්පනයට පත්කළේය. (මාක්ස්වාදී) මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (PDPA) විසින් එය මෙහෙයවන ලදි. ප්‍රතිගාමී රජයක් පෙරළා දමා, පෘථිවියේ දුප්පත්ම සහ වඩාත්ම නොදියුණු රටවලින් එකක රැඩිකල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පටන් ගත්හ.

එකල, ඇෆ්ගන් ජනගහණයෙන් 90% කට වඩා වැඩි පිරිසක් අකුරු නොදන්නා අය වූහ. ඉඩම්වලින් 85% ක් විශාල ඉඩම් හිමියන් සතු වූ අතර ගොවීන් විශාල පිරිසක් ණය වහල්භාවයේ අර්ධ වැඩවසම් තත්වයන් යටතේ ජීවත් වූහ. රටේ බොහෝ ප්‍රදේශවල කාන්තාවන්ට කිසිදු අයිතිවාසිකමක් නොතිබූ අතර, ජනගහණයෙන් වැඩි දෙනෙක් වෛද්‍යවරයෙකු හෝ පාසලක් නොදැක ජීවිතය ගත කළහ. මන්දපෝෂණය සහ රෝග බහුලව දක්නට ලැබුණි. සෑම දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ළදරු වියේදී මිය ගියේය.

නව විප්ලවවාදී රජය, කිසිදා නොතිබූ ප්‍රදේශවලට පාසල් සහ සායන ගෙන ආවේය. කුඩා අඳ ගොවීන්ගේ ණය, ඉඩම් හිමියන්ගෙන් අවලංගුකරන බවට නිවේදනය කළේය. කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබාදීමටද, ළමා විවාහ අවසන් කරන ලෙසද ඉල්ලා සිටියහ. නමුත්, කෙටි කලකින්ම ‘ඉස්ලාම් ආගමේ’ නාමයෙන් සටන්කරන බව කියා සිටිමින්, ඉඩම් හිමියන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමට උත්සාහ කළ ‘මුජහිදීන්’ ලෙස තමන්ව හඳුන්වාගත් විපක්ෂයේ සන්නද්ධ කණ්යම්වල බලපෑම් ආරම්භ විය. රජයේ පදනම පැවැතියේ, කුඩා කොටසක් වූ නාගරික කම්කරු පන්තිය, තරුණයින්, මධ්‍යම පන්තිය සහ හමුදාව තුළය. රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති, පීඩිත ගොවීන් දිනාගැනීම අරමුණු කරගත් නමුත්, ජනගහණයෙන් 80% ක් පමණ ජීවත් වූ විශාල ගම්බද ප්‍රදේශවල රජයට නිසි පදනමක් තිබුණේ නැත. ඇෆ්ගන් කොමියුනිස්ට්වාදීන් කෙරෙහි වූ සුළු විරුද්ධත්වය නොතකා, නව රජයේ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති, විශේෂයෙන් කාන්තාවන් සඳහා අධ්‍යාපන වැඩසටහන්, ඉඩම් ප්‍රතිසංස්කරණ සහ කාර්මිකකරණය සඳහා වූ සැලසුම්වලට සෝවියට් සංගමය සහය විය.

ත්‍රස්තවාදය සරු කළ CIA මෙහෙයුම

ඇෆ්ගනිස්තානය පාකිස්තාන භූමිය සමඟ සම්බන්ධ වන විශාල දේශසීමාවක් ඇත. එනිසා ප්‍රතිගාමී විපක්ෂයට පාකිස්තානයේ දක්ෂිණාංශික හමුදා සහ බුද්ධි අංශවල සහාය ලෙහෙසියෙන්ම ලැබුණි. 1979 මුල් භාගය වන විට බරපතළ රාජ්‍ය විරෝධී යුද්ධයක් පැතිරෙමින් පැවතුණි. එය සිදු වූයේ ඉතිහාසයේ විශාලතම සී.අයි.ඒ මෙහෙයුමක් යටතේය.

ඒ අනුව, දැඩි ආක්‍රමණකාරී උපක්‍රම මගින්, පාකිස්තානයෙන් ක්‍රියාත්මක වූ ශුද්ධ ඉස්ලාමීය සටන්කාමීන් වන ‘ඇෆ්ගන් මුජහිදීන්’වාදීන් විසින් වර්ධනය කරන කැරැල්ල, සිවිල් යුද්ධයක් ඉක්මනින් ඇවිළවීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේය. කැරලිකරුවන්ගේ ආගමික ලැදියාව සහ ප්‍රතිගාමී අදහස් ගැන අපහසුතාවයට පත්වූ කාටර් ජනාධිපතිවරයා, නව රජයට එරෙහිව රහසිගත මෙහෙයුම් සඳහා බ්‍රෙසින්ස්කිගේ සැලසුම් මුලින් ප්‍රතික්ෂේප කළේය. එසේ වුවත් බ්‍රෙසින්ස්කි කැරලිකරුවන්ට පුහුණුව ලබාදීම සහ බාහිර අරමුදල් ලබාගැනීම සඳහා සී.අයි.ඒ සංවිධානය සමග කටයුතු කළේය. කාබුල්හි ඉස්ලාමීය කැරලිකරුවන් ඇමරිකානු තානාපති “ඇඩොල්ෆ් ඩබ්ස්” පැහැරගත් අතර, “ඇෆ්ගන් පොලිසිය සහ සෝවියට් උපදේශකයින් ඔහු රඳවා සිටි හෝටලයට කඩා වැදුණු විට ත්‍රස්තවාදීන් සමග ඇතිවූ සටන් හේතුවෙන් තානාපතිවරයා මිය ගියේය. පසුව ඇමරිකාව ඇෆ්ගනිස්තානය තුළ තම මැදිහත්වීම දැඩිකළ නමුත්, වර්ධනය වන ඉස්ලාමීය මූලධර්මවාදයේ අනතුරට වඩා වැඩි අවස්ථාවන් බ්‍රෙසින්ස්කි දුටුවේය. වසර ගණනාවක් තිස්සේ, සෝවියට් සංගමයට සහයෝගය දක්වන රජයන්ට අභියෝග කරන පාකිස්තානය තුළ දක්ෂිණාංශික ඉස්ලාමීය මූලධර්මවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම අරමුණු කොටගෙන ඇමරිකාව, ඉරාන සහ පාකිස්තාන බුද්ධි අංශ සමඟ එක්ව කටයුතු කළේය. සෝවියට් හමුදා පැමිණීමට පෙර සිටම ඇමරිකාව මුජාහිදීන්වරුන්ට සහාය දක්වමින් සිටි බව බ්‍රෙසින්ස්කි පසුව පිළිගත්තේ මෙලෙසිනි. “1979 ජූලි 3 වන දින, ජනාධිපති කාටර් කාබුල්හි සෝවියට් හිතවාදී පාලනයේ විරුද්ධවාදීන්ට රහස් ආධාර සඳහා පළමු නියෝගයට අත්සන් තැබීය. එදිනම මම ජනාධිපතිවරයාට සටහනක් ලිව්වා, එහිදී, මගේ මතය අනුව මෙම ආධාර සෝවියට් හමුදා මැදිහත්වීමක් ඇතිකිරීමට හේතුවන බව මම ඔහුට පැහැදිලි කළා”

ඇෆ්ගන් යුද්ධය ‘සෝවියට් මධ්‍යම ආසියාවේ’ මිලියන 40 ක මුස්ලිම්වරුන්ගේ නැගිටීමක් ඇති කරනු ඇති බවට තිබූ සෝවියට්වරුන්ගේ බියද බ්‍රෙසින්ස්කි තේරුම්ගත්තේය. ඇෆ්ගන් රජයේ නායකයින් “කැරැල්ල ඉහළ නැගීම මැඩපැවැත්වීම සඳහා හමුදා ඉල්ලා මොස්කව් වෙත බලකරමින් සිටි අතර රුසියානුවන් ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළහ. ඒ වෙනුවට, දේශපාලන විරුද්ධවාදීන් මර්දනය ලිහිල්කරන ලෙස, ඇමරිකාව සමඟ සංහිඳියා මගේ සිටි, ජනාධිපති ‘ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්’ සෝවියට් හිතැති රජයෙන් ඉල්ලා සිටියේය. ඇමරිකානුවන්, ඉරානයේ සහ පාකිස්තානයේ අන්තවාදී කොටස් සමඟ සහයෝගයෙන් කැරැල්ල උසිගන්වන බව සෝවියට් නායකයින් නිවැරදිව නිගමනය කළහ. චීනය භූමිකාවක් ඉටු කරන්නේද යන්න ගැන ඔවුන් සිතුවාද විය හැකිය. එදා සෝවියට් විදේශ ඇමති ‘අන්ද්‍රෙයි ග්‍රොමිකෝ’ ඔවුන්ගේ උත්සහයන් සාරාංශ කළේ මේ ආකාරයටය, “අපි මෙතරම් දුෂ්කරතාවයකින් අත්පත් කරගත් සියල්ල බොහෝ දුරට ඉවත දැමීමට සිදුවනු ඇත. විශේෂයෙන් ‘සෝල්ට්’(1979 දී අත්සන් කළ ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර ‘උපායමාර්ගික අවි සීමා කිරීමේ සාකච්ඡා ගිවිසුම’ SALT-II) අඛණ්ඩව පවත්වාගෙන යාමේ සාකච්ඡා මඟ හැරෙනු ඇත. ගිවිසුමක් අත්සන් කිරීමක් සිදුනොවනු ඇත. ඔබ එය කෙසේ බැලුවත්, අපට එය විශාලතම දේශපාලන ප්‍රමුඛතාවයයි. බ්‍රෙෂ්නෙව්, කාටර් සමඟ හමුවීමක් සිදු නොවනු ඇත…. සහ බටහිර රටවල් සමඟ, විශේෂයෙන් ජර්මනිය සමඟ අපගේ සබඳතා විනාශ වනු ඇත.”

මේ අතර, සෝවියට්වරු ඇෆ්ගනිස්තානයේ අමීන්ව නෙරපා හැර, තාරකි පත්කිරීමට තීරණය කළ නමුත් තාරකි හදිසියේ මිය ගියේය. සැලැස්ම ආපසු හැරවූ අතර, අමීන් වඩාත් ස්ථාවරව බලයේ මුල්බැස ගත්තේය. පසුව ඔහු, මර්දනය පුළුල් කළා පමණක් නොව, උදව් ඉල්ලා ඇමරිකාව වෙතටද ළංවිය. තම දකුණු දේශසීමාවේ ඇමරිකානු හිතවාදී පාලනයක් පිළිබඳ සිතුවිල්ලට බියෙන්, සෝවියට් නායකයින් අමීන් වෙනුවට ‘බබ්‍රක් කර්මල්’ පත්කිරීමට තීරණය කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අස්ථාවරත්වය නිසා ඔවුන්ට රට තුළට හමුදා යැවීමට සිදුවිය හැකි බව දැන සිටි සෝවියට් හමුදා නායකයින් මැදිහත්වීමකට විරුද්ධ විය. එය ඔවුන්ට කිසිදු වැදගැම්මකට නොමැති ස්ථානයක තමන්වම අඩපණකරන, ඒකාබද්ධ මුස්ලිම් ප්‍රතිචාරයක් අවුස්සනු ඇතැයි බියවිය. නමුත් බ්‍රෙෂ්නෙව් නිරර්ථක ලෙස අවධාරනය කළේ, සති තුන හතරකින් යුද්ධය අවසන් වනු ඇති බවයි. ඒ වනවිට බටහිර රටවල් සමඟ ඇති කරගත් සංහිඳියාව තුළ SALT II අනුමත කිරීමටත්, යුරෝපයේ නව අතරමැදි පරාස ‘බැලස්ටික් මිසයිල’ යෙදවීමටත් නේටෝව ගත් තීරණයට එරෙහිව, වර්ධනය වන ඇමරිකානු විරෝධය කරලියට පැමිණීමට පටන්ගෙන තිබීණ. එමගින් බ්‍රෙෂ්නෙව්ගේ හමුදා යැවීමට වූ තීරණයට පහසු විය. කෙසේ වෙතත්, ඉතිහාසඥ ‘මෙල්වින් ලෙෆ්ලර්’ පසුව සිහි කර දුන් පරිදි, “ඇෆ්ගනිස්තානයට මැදිහත්වීමට තීරණය කිරීමේ එම අවස්ථාව, සෝවියට් නායකයින් දුටුවේ  තර්ජනයක් නොවන” ලෙසටයි.

ඇෆ්ගනිස්තානයට සෝවියට් හමුදා ඇතුළුවේ

බ්‍රෙෂ්නෙව්, නිවැරැදි අදහසක සිටි ඔහුගේ හමුදා උපදේශකයින්ට අභියෝග කරමින්, 1979 නත්තල් දිනයේදී, සෝවියට් හමුදා සොල්දාදුවන් 80,000 කට වඩා ඇෆ්ගනිස්තානයේ ස්ථානගත කළේය. ආක්‍රමණයට ආසන්න වකවානුවකදීම, එවැනි “ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී සිදුනොවන” බවට සී.අයි.ඒ සංවිධානය කාටර්ට සහතික වී තිබුණි. සෝවියට් සංගමයේ දේශසීමාවේ මොස්කව්වලට හිතකර රජයක් අස්ථාවර කිරීමට ඇමරිකාව ගත් රහසිගත උත්සාහයන්ට එරෙහිව තමන් ආරක්ෂාවන බවට සෝවියට් ප්‍රකාශය සමච්චලයට ලක්කරමින්, මොස්කව් තමන්ගේම වියට්නාම් උගුලකට හසුකරගත් බව විශ්වාස කරමින් බ්‍රෙසින්ස්කි ආක්‍රමණය ගැන ප්‍රීතිඝෝෂා කළේය.

සම්පූර්ණ සීතල යුද්ධයක ආකාරයේ, ඇෆ්ගන් ආක්‍රමණය “දෙවන ලෝක යුද්ධයෙන් පසු සාමයට ඇති ලොකුම තර්ජනය” ලෙස ජනාධිපති ජිමී කාටර් හැඳින්වූවේය. එම ප්‍රකාශය කෙතරම් අතිශයෝක්තියෙන් යුක්තව ගත්තේද යත්, ‘නිව් යෝර්ක් ටයිම්ස්’ තීරුපිටු ලේඛක ‘රසල් බේකර්’ට අනුව එය, “බර්ලිනය තාප්පයෙන් අවහිරකිරීම, කොරියානු යුද්ධය, සූවස් ඇල අර්බුදය, කියුබානු මිසයිල අර්බුදය සහ වියට්නාමයේ යුද්ධය” සිහිපත් කර දුන්නේය.

1980 ජනවාරි 23 වන දින තම ජාතිය ඇමතීමේදී කාටර් මෙසේ ප්‍රකාශ කළේය:

“සෝවියට් හමුදා විසින්, දැන් තර්ජනයට ලක්කර ඇති  ඇෆ්ගනිස්තාන කලාපය ඉතා උපායමාර්ගික වැදගත්කමක් දරයි. එහි ලෝකයේ අපනයනය කළ හැකි තෙල්වලින් තුනෙන් දෙකකට වඩා අඩංගු වේ. ඇෆ්ගනිස්ථානය ආධිපත්‍යය දැරීමට සෝවියට් උත්සාහය නිසා සෝවියට් හමුදා ඉන්දියානු සාගරයේ සිට සැතපුම් 300 ක් ඇතුළතට සහ හෝමූස් සමුද්‍ර සන්ධියට ආසන්නව ගෙනැවිත් ඇත, එය ලෝකයේ තෙල්වලින් වැඩි ප්‍රමාණයක් ගලා යායුතු මාර්ගයකි. සෝවියට් සංගමය දැන් උපක්‍රමිකව “උපායමාර්ගික ස්ථානයක්” තහවුරු කිරීමට උත්සාහ කරමින් සිටී. එබැවින් එය මැද පෙරදිග තෙල් නිදහසේ ගලායාමට බරපතල තර්ජනයක් එල්ල කරයි. අපගේ ස්ථාවරය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරගනිමු. පර්සියානු ගල්ෆ් කලාපයේ පාලනය ලබාගැනීමට බාහිර බලවේගයක් දරන උත්සාහයක් ඇමරිකා එක්සත් ජනපදයේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවලට පහරදීමක් ලෙස සලකනු ලබන අතර, එවැනි ප්‍රහාරයක් මිලිටරි බලය ඇතුළුව අවශ්‍ය ඕනෑම ආකාරයකින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.”

වෙනස්වූ ඇමරිකානු යුධ උපායමාර්ග

කාටර්, මූලධාර්මික ලෙස ස්ථාපිත කරන ලද අවසාන වාක්‍යය පැහැදිලි න්‍යෂ්ටික යුද්ධයක් සඳහා වන යුද්ධ තර්ජනයක් ලෙස ක්‍රෙම්ලිනය අර්ථකථනය කළේය. මැද පෙරදිග සෝවියට් ආක්‍රමණයක් පිළිබඳ එක්සත් ජනපද චෝදනා විකාරයක් බව සෝවියට්වරු සිතූ නමුත්, කාටර් මොස්කව්හි සිටි ඇමරිකානු තානාපතිවරයා ඉවත්කර SALT II සාකච්ඡා මේසයෙන්ද ඉවත්විය. ඔහු දෙරට අතර වෙළඳාම කපා හැරියේය. ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන 1980 මොස්කව් ඔලිම්පික් උළෙලට සහභාගී වීම තහනම් කළේය. ආරක්ෂක වියදම් වැඩි කළේය. හමුදා සබඳතා ඇතිකර ගැනීම පිළිබඳව චීන නායකයින් හමුවීමට ආරක්ෂක ලේකම් ‘හැරල්ඩ් බ්‍රවුන්’ චීනයට පිටත්කර යැවීය.

බ්‍රෙෂ්නෙව්ගේ උපදේශකයින් බොහෝ දෙනෙක් අනතුරු ඇඟවූ පරිදි, සෝවියට් මැදිහත්වීම ඇෆ්ගනිස්තානය තුළ සහ ඉන් පිටත ඉස්ලාම්වාදීන්ගේ පැත්තෙන් වඩා විශාල නැගිටීමක් ඇති කළේය. පාකිස්තානයේ පෙෂාවර්හිහිපිහිටි සටන්කාමී කණ්ඩායම්, සෞදි අරාබිය, ඊජිප්තුව සහ පාකිස්තානයේ ‘මද්‍රසා’ පුහුණුවලත් ඉස්ලාමීය භක්තිකයන් සමඟ එකතුවී ඇෆ්ගන් රාජ්‍ය විරෝධී සටන්කරුවන්ට ආධාර කළහ. පකිස්තානයේ ඉස්ලාමාබාද්හිදී මුස්ලිම් රටවල් තිස්පහක් එකතුව සෝවියට් ආක්‍රමණය හෙළා දුටුවෝය. සෝවියට් මධ්‍යම ආසියාවේ මුස්ලිම්වරුන් අතර ඇතිවිය හැකි අතෘප්තියේ ගිනිදැල් අවුුුළුවාලීමට, බ්‍රෙසින්ස්කි ක්‍රම සෙවීමට පටන්ගත්තේය. කෙසේ වෙතත් මුල් දශකවලදී, ඇමරිකාව ‘ලෞකික අරාබි ජාතිකවාදයට’ එරෙහි සටනේදී ආයුධයක් ලෙස ‘ඉස්ලාමීය මූලධර්මවාදය’ භාවිතාකර තිබුණි. දැන් සෝවියට් සංගමයට එරෙහිව ඇමරිකාව ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කරයි. එම සත්‍ය තේරුම්ගැනීමට, පකිස්තානයේ ජනාධිපති ‘ජෙනරාල් සියා-උල්-හක්’ සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ ආරම්භය තේරුම්ගත යුතුය.

මානව හිමිකම් සහ න්‍යෂ්ටික අවි වැඩසටහන කෙරෙහි කළ නින්දාව හේතුවෙන්, ජනාධිපති කාටර් 1977 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි ‘මුහම්මද් සියා-උල්-හක්’ගේ මර්දනකාරී රජයට ආධාර කපා හැරියද, ඇෆ්ගනිස්තානයේ සෝවියට් මැදිහත්වීමට එරෙහිව සටන්කරන ඉස්ලාමීය කැරලිකරුවන්ට සහායවීම වෙනුවෙන්, පාකිස්තානයට ඩොලර් මිලියන ගණනක මිලිටරි සහ ආර්ථික ආධාර ලබා දුන්නේය. තවදුරටත් මූල්‍ය හා මිලිටරි සහයෝගීතාවයක් ඇතිකරගැනීම සඳහා කාටර්ගේ ජාතික ආරක්ෂා උපදේශක ස්බිග්නිව් බ්‍රෙසින්ස්කි පාකිස්තානයට සහ සෞදි අරාබියට පිටත්කර හැරියේය. එකල සෞදි රජකුමරු ‘තුර්කි අල්-ෆයිසාල්’ සී.අයි.ඒ නිලධාරියෙකුට මෙසේ පැවසීය, “අපි මෙහෙයුම් කරන්නේ නැහැ. අපි ඒවා දන්නේ නැහැ. අපි දන්නේ චෙක්පත් ලියන්නෙ කොහොමද කියලා විතරයි.” එක්සත් ජනපදයට ගැලපෙන පරිදි දායකත්වයන් ලබාදීමට සෞදිවරු එකඟ වූහ. සෝවියට් ආක්‍රමණයක් මැඩ පැවැත්වීම ගැන කාටර්ගේ ප්‍රහාරය නොසලකා හැරීමට ගල්ෆ් කලාපයට නොහැකි විය. ඇමරිකානු හමුදා දහස් ගණනක් ඉක්මනින් ගල්ෆ් කලාපයට යෙදවිය හැකි සෝමාලියාව, කෙන්යාව සහ ඕමානය යන රටවල නව කඳවුරු සහිත වේගවත් යෙදවුම් බලකායක් ගොඩ නගනු ලැබිණ. සෞදි අරාබිය වැනි කලාපයේ ඇමරිකානු මිත්‍රශීලී රජයන් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනුණි. ජනාධිපති නියෝගයක් නිකුත් කරමින්, ඔහු න්‍යෂ්ටික උපායමාර්ගයේ ප්‍රධාන සකස් කිරීමක් සිදුකළේය. ඇමරිකානු න්‍යෂ්ටික යුද සටන් උපායමාර්ගය විනාශකාරී යුද්ධවල සිට ඇමරිකාවට ජයග්‍රහණය කළ හැකි පරිදි වෙනස් කරනු ලැබීය. න්‍යෂ්ටික අවි තුරන් කිරීමට කාටර් දැරූ උත්සාහය බිඳවැටුණා පමණක් නොව, සාම්ප්‍රදායික සහ න්‍යෂ්ටික අවි නිපදවීම්වල දැවැන්ත වැඩිකිරීමක් ආරම්භ කෙරුණි. ඒ යටතේ, ඇමරිකාව පළමුවරට සෝවියට් නායකයින් ඉලක්කකර ගනිමින්, දිග්ගැස්සුණු න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් විය.

සෝවියට් සංගමයේ මැදිහත්වීමට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකාව ඇෆ්ගනිස්තානයට මැදිහත් වූ බවට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මිථ්‍යාවක් තිබිණ. නමුත් එම කතාව වෙනත් කිසිවෙකු නොව, ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කරන ලද ප්‍රබන්ධයක් ලෙස වසර ගණනාවකට පසුව හෙළිදරව් විය. 1979 දී ‘ස්බිග්නිව් බ්‍රෙසින්ස්කි’, ප්‍රංශ සඟරාවක් වන ‘ලෙ නූවෙල්’ වෙත පුරසාරම් දොඩන සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් අතර එහි කොටසක් මෙසේ විය:

ප්‍රශ්නය: “සීඅයිඒ හි හිටපු අධ්‍යක්ෂ ‘රොබට් ගේට්ස්’ ඔහුගේ මතක සටහන්වල සඳහන් කළේ සෝවියට් මැදිහත්වීමට මාස හයකට පෙර ඇමරිකානු බුද්ධි අංශ ඇෆ්ගනිස්තානයේ මුජාහිදීන්වරුන්ට උදව් කිරීමට පටන්ගත් බවයි. මේ කාලපරිච්ඡේදයේද, ඔබ ජනාධිපති කාටර්ගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා විය. එබැවින් ඔබ මෙම කාරණයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. මෙය නිවැරදිද?”

බ්‍රෙසින්ස්කි: “ඔව්. ඉතිහාසයේ නිල වාර්තාවලට අනුව, මුජාහිදීන්වරුන්ට සී.අයි.ඒ ආධාරදීම 1980 දී ආරම්භ විය. එනම් 1979 දෙසැම්බර් 24 වන දින සෝවියට් හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමෙන් පසුවය. නමුත් මේ දක්වා ආරක්ෂාකර තිබූ යථාර්ථය සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඇත්ත වශයෙන්ම, 1979 ජූලි 3 වන දින කාබුල්හි සෝවියට් හිතවාදී පාලනයේ විරුද්ධවාදීන්ට රහසිගත ආධාර සඳහා පළමු නියෝගයට ජනාධිපති කාටර් අත්සන් කළා. එදිනම, මම ජනාධිපතිවරයාට සටහනක් ලිව්වා. මගේ මතය අනුව, මෙම ආධාර සෝවියට් හමුදා මැදිහත්වීමක් ඇති කිරීමට හේතුවන බව ඔහුට පැහැදිලි කළා.”

ප්‍රශ්නය: “සෝවියට්වරු ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකානු රහසිගත මැදිහත්වීම්වලට එරෙහිව සටන්කිරීමට අදහස්කරන බව පවසමින් ඔවුන්ගේ මැදිහත්වීම සාධාරණීකරණය කළ විට, කිසිවෙකු ඔවුන්ව විශ්වාස කළේ නැත. කෙසේ වෙතත්, මෙහි සත්‍යයේ පැත්තක් තිබුණි. අද ඔබ මේ කිසිවක් ගැන පසුතැවෙන්නේ නැද්ද?”

බ්‍රෙසින්ස්කි: “මොකක්ද කණගාටුව? ඒ රහස් මෙහෙයුම විශිෂ්ට අදහසක්. එය රුසියානුවන් ඇෆ්ගන් උගුලට ඇදදැමීමේ බලපෑමක් ඇති කළ අතර මම ඒ ගැන පසුතැවෙන්නට අවශ්‍යද? සෝවියට්වරු නිල වශයෙන් දේශසීමාව තරණය කළ දිනයේ, මම ජනාධිපති කාටර්ට ලිව්වා, මූලික වශයෙන්: “අපිට දැන් සෝවියට් සංගමයට ඒ අයගෙ වියට්නාම⁣ය වැනි යුද්ධයක් ලබාදීමට අවස්ථාව තිබෙනවා.”

ප්‍රශ්නය: “අනාගත ත්‍රස්තවාදීන්ට ආයුධ සහ උපදෙස් ලබාදී ඇති ඉස්ලාමීය මූලධර්මවාදයට සහාය දීම ගැන ඔබ කණගාටු වෙන්නේ නැද්ද?”

බ්‍රෙසින්ස්කි: “ලෝක ඉතිහාසයේ වඩා වැදගත් වන්නේ කුමක්ද? තලේබාන් සංවිධානයද නැත්නම් සෝවියට් අධිරාජ්‍යයේ බිඳවැටීමද? සමහර මුස්ලිම්වරු කලබලයට පත්වීමද නැත්නම් මධ්‍යම යුරෝපයේ විමුක්තිය සහ සීතල යුද්ධයේ අවසානයද?”

සෝවියට් මැදිහත්වීමට පෙර කාටර්ගේ රහස් නියෝගයෙන් ඩොලර් මිලියන 500ක් (අද වටිනාකම අනුව ඩොලර් බිලියන දෙකක් පමණ) යැවීමෙන් ආරම්භ වූ දැවැන්ත ඇමෙරිකානු මැදිහත්වීම පමණක් නොව, ඇෆ්ගනිස්තානයේ ජනතාව කෙරෙහි දැඩි නොසලකා හැරීමක්ද සිදුවූ බව බ්‍රෙසින්ස්කි අහංකාරව හෙළි කළේය. එදා, වියට්නාමයේ ඇමරිකානු යුද්ධයෙන් මිලියන තුනකට වඩා මියගිය අතර, තවත් මිලියන ගණනක් තුවාල ලැබ විශාල විනාශයක් සිදුවිය. තවත් එවැනි යුද්ධයක් සඳහා බලාපොරොත්තුවෙන් සිටින ඉහළ නිලධාරියෙකු අධිරාජ්‍යවාදයේ නිර්දය බව පැහැදිලි කළේ එලෙසය.

ඊටපසු දශකය තුළ, සී.අයි.ඒ සංවිධානය හරහා සෞදි අරාබියේ සහ අනෙකුත් ගල්ෆ් රාජාණ්ඩුවල ප්‍රතිගාමී සගයින්, තවත් බිලියන ගණනක් වැයකරමින් ‘ඔසාමා බින් ලාඩන්’ වැනි පුද්ගලයින් සහ පාකිස්තානය සමඟ එක්ව යුද්ධය සඳහා ආයුධ සන්නද්ධකිරීම, පුහුණුව ලබාදීම සහ අරමුදල් සැපයීම කළහ. යුද්ධයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මියගොස් තුවාල වූ අතර, මිලියන ගණනක් පිටුවහල් කෙරිණි. ඇෆ්ගන් රටේ වැඩි කොටසක් නටබුන් බවට පත්විය. ඊනියා “නිදහස් සටන්කරුවන්” විප්ලවය විසින් නිර්මාණය කරන ලද සියලු ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සහ ආයතන විනාශ කිරීමට උත්සාහ කළහ.

1988-89 කාලයේදී, එවකට ගැඹුරුවෙමින් පැවති අභ්‍යන්තර අර්බුදයක සිටි නමුදු සෝවියට් සංගමය, ඇෆ්ගනිස්තාන රජයට අත්‍යවශ්‍ය ආධාර සැපයීම දිගටම කරගෙන ගියහ.

සෝවියට්වරු ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේද? – ලේඛන මගින් ඉතිහාස පාඩමක්!

සෝවියට් සංගමය ඇෆ්ගනිස්තානයේදී “පරාජයට” පත් වූයේ විදේශීය බලවතුන්ගේ සහාය ලැබූ මුජාහිදීන් ගරිල්ලා සටන්කරුවන් පරාජය කිරීමට අපොහොසත් වූ නිසා සහ ගැටුම සෝවියට් සංගමයට දේශපාලනිකව සහ මූල්‍යමය වශයෙන් වෙහෙසකර “ලේ ගලන තුවාලයක්” බවට පත්වූ බැවිනි. බොහෝ විට ඇමරිකාවේ වියට්නාමයට සාපේක්ෂව දශකයක් පුරා පැවති යුද්ධය, සෝවියට් සංගමයේ අවසාන බිඳවැටීමට දායක වූ සෝවියට් මරණ 15,000 කට අධික සංඛ්‍යාවක් හා සැලකිය යුතු මිලිටරි පාඩුවලට අමතරව දේශීය නොසන්සුන්තාවයන්ට හේතුවිය. ජිනීවා ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු 1989 දී සෝවියට් හමුදා ඉවත්වීම අවසන් වූ නමුත් ගැටුමේ උරුමය කලාපයට දිගටම බලපෑවේය. සෝවියට් හමුදාව දිගුකාලීන ගරිල්ලා යුද්ධයකදී අධිෂ්ඨානශීලී ඇෆ්ගන් මුජාහිදීන් පරාජය කිරීමට සටන් කළත්, සෝවියට් ගුවන් ආධිපත්‍යයට එරෙහිව සටන්කිරීමට සහ දැඩි පාඩු සිදුකිරීමට උපකාරී වූ තීරණාත්මක ඇමරිකානු ‘ස්ටිංජර් මිසයිල’ ඇතුළු සැලකිය යුතු රහසිගත ආධාර සපයන ලදී.

ආර්ථික හා දේශපාලන පීඩනය දෙස බැලීමේදී, යුද්ධයට අතිවිශාල මූල්‍ය සම්පත් යෙදවූ අතර, එය ඒ වනවිටත් අභ්‍යන්තර පීඩනයන්ට මුහුණ දී සිටි සෝවියට් ආර්ථිකය දැඩි ලෙස පීඩාවට පත්කළේය. මෙයින් වෙනත් තැන්වලට යෙදීමට අවශ්‍ය සම්පත් සිඳී ගිය අතර රට තුළ අතෘප්තිය උග්‍ර විය. වැඩෙන ජීවිත හානි සහ යුද්ධයේ නිෂ්ඵල බවින්, සෝවියට් සංගමය තුළ සැලකිය යුතු මහජන විරෝධයකට සහ නොසන්සුන්තාවයකට මං පෑදීය. ගැටුම වඩවඩාත් ජනප්‍රිය නොවූ අතර, මහජන සහයෝගය ඛාදනය වෙමින් රජයේ කීර්ති නාමයට හානි කළේය.

සෝවියට් සංගමයේ නායක ‘මිහායිල් ගොර්බචොව්’, මෙහි දේශපාලන වැරැද්ද, නැත්නම් මෙම මැදිහත්වීම ජාතිය දුර්වල කරන සහ එහි ශක්තිය සිඳී යන දේශපාලන දෝෂයක් ලෙස සැලකීය. වඩාත් දැවෙන දේශීය හා විදේශ ප්‍රතිපත්ති ගැටලු විසඳීම සඳහා ඇෆ්ගනිස්තාන⁣යෙන් ඉවත්වීමේ අවශ්‍යතාවය ඔහු හඳුනා ගත්තේය. 1988 දී, සෝවියට් සංගමය ජිනීවා ගිවිසුම් අත්සන් කළ අතර, එමඟින් සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්කර ගැනීමට බැඳුුුණි. අභ්‍යන්තර ගැටලු සහ ප්‍රතිසංස්කරණ සමගින්, ඇෆ්ගනිස්තානයේ පරාජය, 1991 දී සෝවියට් සංගමයේ බිඳවැටීමට හා විසුරුවා හැරීමටද ප්‍රධාන වශයෙන් දායක වූ සාධකයක් බවට පත් විය.

තලේබාන්වරුන්ගේ නැගීම

ආගමික මූලධර්මවාදී සටන්කරුවන්ට ලැබුණු ආධාර හා සසඳනවිට සෝවියට් සංගමයෙන් ලැබුණු ආධාර කුඩා වූ නමුත් එය ඉතා වැදගත් විය. සෝවියට් ආධාර ලැබීම අවසන් විය. ඒ වනවිට ඇමරිකාව තම අරමුණු සඳහා මුජහිදීන් යොදාගැනීමෙන් පසු, ඇෆ්ගනිස්තානය කෙරෙහි තිබූ උනන්දුව අඩුවිය. 1992 දී විප්ලවවාදී රජය බිඳවැටුණු අතර ප්‍රතිවිප්ලවවාදී බලවේග අතර අතිශය කුරිරු සිවිල් යුද්ධයක් වසර හතරක් පුරා ඇදී ගියේය.

1994 දී, විසිරී සිටි මුජහිදීන් කණ්ඩායම්වල නායකයින් ගණනාවක් විසින් එක්ව පිහිටුවන ලද සංවිධානයක් වන ‘තලේබාන් සංවිධානය’ පිහිටුවන ලදී. [“තලේබාන්” (طَالِباَنْ) යන වචනය පැෂ්ටෝ පදයක් වන අතර එය අරාබි වචනයක් වන ටාලිබ් (طَالِبْ) හි බහුවචනයෙන් උපුටාගත්තකි. එහි අර්ථය “ශිෂ්‍යයන්” හෝ “දැනුම සොයන්නන්” යන්නයි. මෙම වචනය ඇෆ්ගනිස්තානයේ ප්‍රමුඛත්වයට පත් වූ, ‘ඇෆ්ගනිස්තාඇෆ්ගනිස්තාන් ඉස්ලාමීය එමීර් රාජ්‍යය’ ස්ථාපිත කළ කණ්ඩායම හඳුන්වයි] එකී සංවිධානය 1996 දී රටේ බොහෝ ප්‍රදේශවල බලය අල්ලාගත් අතර 2001 දක්වා පාලනය රඳවා ගත්තේය. තලේබාන් සමාජ හා ආර්ථික වැඩසටහන විශේෂයෙන් කාන්තාවන්ගේ සහ ගැහැනු දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් තදින්ම ප්‍රතිගාමී එකක් විය. ඇමරිකාව කිසිවිටෙකත් තලේබාන් රජය විධිමත් ලෙස පිළිනොගත්තද, එය සමඟ ගනුදෙනු කළේය. ආයුධ පිලිබඳ විශ්වාසය තබා ත්‍රස්තවාදී දේශපාලනයට හුරුවූ කණ්යමකට, ප්‍රජාතන්ත්‍රවාදීයි කියාගන්නා දේශපාලනයට පිවිසීමට කොතරම් අපහසු දැයි ඇෆ්ගනිස්තානය හොඳම උදාහරණයකි. කෙනෙකුට අවශ්‍ය නම් ඊට මූලධර්මවාදී දෘෂ්ටිවාදයද එක්කර ගත හැකිය.

9\11 ප්‍රහාරය හා ඇමරිකාවම කිරි පොවා වැඩූවන් ත්‍රස්තවාදීන් වීම

2001 සැප්තැම්බර් 11 වන දින නිව්යෝර්ක් සහ වොෂින්ටන් ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව, ඇමරිකා එක්සත් ජනපදය වහාම ඇෆ්ගනිස්තානය සහ ඉරාකය ඇතුළු රටවලට එරෙහිව නව යුද්ධයක් සඳහා සූදානම් විය. ඇමරිකාවේ පැරණි සගයා වූ ‘ඔසාමා බින් ලාඩන්’ පහරදීමේ කේන්ද්‍රය විය. ඔහුට රැකවරණය ලබාදුන් ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරු කියාසිටියේ, බින් ලාඩන් පහරදීම කර ඇතැයි සාක්ෂි පෙන්වුවහොත්, නඩු විභාගයක් සඳහා ඔහුව මුස්ලිම් රටකට භාරදෙන බවය. ‘ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්’ ජනාධිපතිවරයාගේ පරිපාලනය එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර, 2001 ඔක්තෝබර් 7 වනදින ඇෆ්ගනිස්තානයට බෝම්බ හෙළීම සහ විශේෂ හමුදා යැවීම ආරම්භ කළේය. “තලේබාන්වරු සම්පූර්ණයෙන්ම පරාජයට පත්වුණා, සමාව හැර ඔවුන්ට වෙනත් ඉල්ලීම් තිබුණේ නැහැ.”යි එවකට ඇෆ්ගනිස්තානයේ දේශපාලන කණ්ඩායම සමඟ වැඩ කළ එක්සත් ජාතීන්ගේ ‘බාර්නට් රූබින්’ පැවසීය. ඉක්මනින්ම පරාජයට පත්වූ තලේබාන්වරු ඊළඟ මාසයේ යටත්වීමට එකඟවිය. 2001 නොවැම්බර් මාසයේදී යුද්ධය අවසන් කිරීමට ඉඩ තිබූ මෙම යෝජනාව, බුෂ් පරිපාලනයේ උද්දච්ඡකම නිසා ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඇමරිකානු ඉලක්කය වූයේ තලේබාන් නායකත්වය සහ රටේ සියලු විරුද්ධවාදීන් මිලිටරිමය වශයෙන් අතුගා දැමීමයි. නමුත් අවසන්වීම වෙනුවට, යුද්ධය තවත් වසර 20 කට ආසන්න කාලයක් ඇදී ගියේය. එයින් තවත් ලක්ෂ සංඛ්‍යාත ඇෆ්ගන් ජනතාවක් මියගිය අතර දසදහස් ගණනක් ඇමරිකානු හමුදා භටයින් මියගොස් හෝ ආබාධිත තත්ත්වයට පත්විය. ඩොලර් ට්‍රිලියන 2 කට වඩා වැඩි මුදලක් වාෂ්ප බවට පත්වූ අතර අවසානයේ තලේබාන්වරු නැවත බලයට පැමිණියහ.

තලේබාන්වරුන්ගේ දූෂණ විරෝධී යුද්ධය

2013 දී ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ලිපියක, ඇමරිකානු නිලධාරියෙක් මෙසේ පැවසීය , “ඇෆ්ගනිස්තාන දූෂණයේ විශාලතම මූලාශ්‍රය ඇමරිකා එක්සත් ජනපදයයි.” දේශපාලනඥයින්ගේ පක්ෂපාතිත්වය මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් ඇෆ්ගනිස්තානය තුළට ගලා ගියේය. නව ඇෆ්ගනිස්තානයක් ගොඩනැගීම සඳහා කොන්ත්‍රාත්තු ඇමරිකානු ව්‍යාපාරිකයින්ට නිදහසේ ලබා දෙන ලද අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඇෆ්ගනිස්තානය තුළ තම වියදම්වලට වඩා වැඩි ගාස්තු අය කළහ.

තලේබාන්වරුන් කාබුල් අල්ලාගැනීමට පැය කිහිපයකට පෙර පිටුවහල් කිරීම නිසා පලා ගිය ඇමරිකානු රූකඩ ඇෆ්ගන් ජනාධිපති ‘අෂ්රෆ් ඝානි’, බලයට පත්වූයේ දූෂණය අවසන් කිරීම ගැන විශාල ලෙසින් ශබ්ද නඟමිනි. ඔහු රටින් පලා යන විට, ඔහුගේ සගයින් මුදල් නෝට්ටු පිරවූ මෝටර්රථ හතරක් ගුවන්තොටුපළට ගෙන ගිය බව, කාබුල්හි රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ලේකම් ‘නිකිතා ඉෂ්චෙන්කෝ’  RIA නොවොස්ති වෙත පැවසු අතර “ඔවුන් මුදල්වලින් තවත් කොටසක් හෙලිකොප්ටරයකට පුරවාගැනීමට උත්සාහ කළ නමුත් කළ නොහැකිවිය. සමහර මුදල් තාර පාරේ විසිරී තිබුණි,” යැයි රොයිටර් වාර්තා කළේය. ජනතාවගේ එදිනෙදා ජීවිතය ගලාගියේ දූෂණය ඉහළම ස්ථානයේ තිබියදීය. 2020 දී ඇෆ්ගනිස්තානුවන්  ඩොලර් බිලියන 2.25 ක අල්ලස් ගෙවා ඇති බව වාර්තාවිය. පසුගිය දශකය තුළ ඇෆ්ගනිස්තානය පුරා තලේබාන් සංවිධානය වේගයෙන් ඉදිරියට යාමට එක් හේතුවක් වන්නේ හමීඩ් කර්සායි (2001-2014) සහ අෂ්රෆ් ඝානි (2014-2021) යන ඇමරිකානු-නේටෝ සහාය ලත් රූකඩ ජනාධිපතිවරුන් දෙදෙනාගේම රජයන්, ඇෆ්ගන් ජනයාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට අපොහොසත් වීමයි. තලේබාන් පාලන ප්‍රදේශවල දූෂණ මට්ටම් අඩුවීම තමන් විශ්වාස කරන බව ඇෆ්ගන් ජනයා පවසන්නේ යයි සමීක්ෂණවලින් නිතිපතා පෙනී ගියේය. ඒ හා සමානව, තලේබාන් පාසල් වඩාත් ඵලදායී ලෙස පවත්වාගෙන යනු ඇතැයි ඔවුන් විශ්වාස කළහ. එරට තුළ, තලේබාන්වරු තමන් වඩාත් කාර්යක්ෂම හා අඩු දූෂිත පරිපාලකයින් ලෙස පෙන්වනු ලැබූහ. මේ කිසිවක් තලේබාන්වරු මධ්‍යස්ථවී ඇති බව කිසිවෙකුට උපකල්පනයකිරීමට තරම් නොවීය. කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ න්‍යායපත්‍රය එහි ආරම්භයේදී තිබූ දෙයටම සමාන විය. එරට සමාජ සංවර්ධනය පිළිබඳ වසර 20 ක බටහිර රටවල අසාර්ථකත්වය තලේබාන්වරුන්ගේ නැවත පැමිණීමට දොර විවර කළේය. ඇෆ්ගනිස්තානය ඇමරිකානු බැංකුවල ඇති තමන්ගේම මුදල් නොදීමට සහ මූල්‍ය ජාලවලින් කපා හැරීමට පටන් ගත්හ. මෙම ක්‍රම තලේබාන්වරුන් හුදකලා කිරීමට භාවිත කළහ.

ඇත්තෙන්ම ජයග්‍රහණය කළේ කවුද?

2021 අගෝස්තු 15 වෙනිදා මුළු ඇෆ්ගනිස්තානයම අත්පත් කරගැනීමෙන් පසු තලේබාන්වරු කාබුල් නගරයට ඇතුළු විය. තලේබාන්වරුන් බලයට පත්වීමත් සමඟ යුද්ධය අවසන් විය. අගෝස්තු 30දා වනවිට එදා කාබුල් ගුවන්තොටුපළේ දර්ශන ඔබට මතක ඇතැයි සිතමි. ඒ ඇෆ්ගන් ජාතිකයන් තම රටින් පලායාමට උත්සාහ කරනවිට ඇතිවූ සම්පූර්ණ අවුල් සහගත තත්ත්වයයි. නමුත් මේ සියල්ල තුළ ව්‍යාපාරික අවස්ථාවක් දුටු එක් පුද්ගලයෙක් සිටියේය. ‘එරික් ප්‍රින්ස්’ නම් මේ පුද්ගලයා කාබුල්වලින් මිනිසුන් ඉවත්කිරීම සඳහා ගුවන් යානයක් කුලියට ගැනීමට ත්‍යාගශීලීව ඉදිරිපත් විය. එක් පුද්ගලයෙකුට ඩොලර් 6,500 ක් ත්‍යාගශීලී එරික් ප්‍රින්ස් තීරණය කළ වෙළඳපල මිලයි. නමුත් ඔහු ධනවත්වීමට ඇෆ්ගනිස්ථානයේ යුද්ධය භාවිතාකළ පළමු අවස්ථාව මෙය නොවේ. මෙය මෙම පුද්ගලයා ඇෆ්ගන් යුද්ධයෙන් ලාභ ලැබූ බොහෝ අවස්ථාවන්ගෙන් එකක් විය. මෙම ක්‍රියාවලියම ගිණුම්ගත නොකළ ඩොලර් බිලියන ගණනක් පුද්ගලික සමාගම්වලට ලබාගැනීමට ඉඩ සලසන පද්ධතියකින් ප්‍රයෝජනය ගැනීමට අවස්ථාව ලබාදීමකි. මේ සියල්ල ඇමෙරිකානු සංස්කෘතියක් ලෙස හඳුන්වාදෙන්නට හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුවූ රම්ස්ෆෙල්ඩ් දායක විය.

එලෙස ධනවත් වූ අයගේ ලැයිස්තුවට අනුව, මුලින්ම, ලොක්හීඩ් මාටින් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ‘රොබට් ස්ටීවන්ස්’ ප්‍රධානියෙකි. මෙම සමාගම ‘බ්ලැක් හෝක්’ හෙලිකොප්ටරය වැනි දේ නිෂ්පාදනය කරන, මිසයිල, ප්‍රහාරක ජෙට් හා බෝම්බද, යුද්ධයේදී භාවිතා කරන බොහෝ දේද නිෂ්පාදනය කරයි. මෙම සමාගමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ, පෙන්ටගනයෙන් විශාල ඇැවුම් ලැබේ. 2020 දී පමණක් මෙම සමාගමට ඩොලර් බිලියන 75 ක පෙන්ටගනයේ කොන්ත්‍රාත්තු ලැබුණි. ලොක්හීඩ්හි ආදායමෙන් 90% ක් ලැබෙන්නේ ෆෙඩරල් රජයෙනි. ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරය, යුද්ධය සහ ආරක්ෂාවයි.

2004 දී රොබට් ස්ටීවන්ස් එහි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වන විට ඇෆ්ගනිස්ථාන යුද්ධයට වසර තුනක් ගත වී තිබුණි. යුද්ධය උත්සන්න වීමෙන්, රොබට්ගේ මුදල් පසුම්බියද තරවිය. මෙය පොදු සමාගමක් වන නිසාත්, විධායක නිලධාරීන් සඳහා වන සියලුම ගෙවීම් ප්‍රසිද්ධියේ දැනුම් දෙන නිසාත් මෙය ප්‍රසිද්ධ විය. ඒ අනූව දශකයේ අගභාගයේ යුද්ධයට පෙර, ලොක්හීඩ් මාටින්හි ප්‍රධාන විධායක නිලධාරියාට ඔහුගේ වැටුප සහ ප්‍රසාද දීමනාව ඇතුළත් කළ විට වසරකට ඩොලර් මිලියන 2 ක් පමණ උපයමින් සිටියේය. ඩොලර් මිලියන 2 ක් යනු තරමක් හොඳ ගෙවීමකි. යුද්ධය ආරම්භ වීමත් සමග ඔහුගේ ප්‍රසාද දීමනාව ඩොලර් මිලියන 3.2 දක්වා ඉහළ නැංගේය. ඔහුගේ මුළු මුදල වසරකට ඩොලර් මිලියන 5 ක් පමණ විය. 2006 වනවිට, ඇෆ්ගනිස්තානයේ වැඩියෙන් බෝම්බ පිපිරීමෙන්, තුවක්කු වෙඩි පත්තුවීමෙන් ඔහුගේ දීමනා ඩොලර් මිලියන 18 ක් දක්වා ඉහළ ගියේය. එනම් වසරකට, ඩොලර් මිලියන 2 සිට, ඩොලර් මිලියන 5 සිට, ඩොලර් මිලියන 18 දක්වා වැඩිවිය. ඉන් වසරකට පසු, සියල්ල එකතුව, ඔහුගේ දීමනා ලෙස මුදලින් ඩොලර් මිලියන 31ක් ලබාගත්තේය. සමාගම් විධායක නිලධාරීයාගේ ජීවිතය, සුපිරි ධනවත් වූ පළමු පුද්ගලයෙක් ලෙස යුද්ධය විසින් වෙනස්කරන සිදුවීමක් විය. ඊළඟට ‘ස්ටීවන් ඔරෙන්ස්ටයින්’ නම් පුද්ගලයා. මොහුගේ ‘සුප්‍රීම් ගෲප්’ නම් සමාගම 2005 දී ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු හමුදා පෝෂණය කිරීම සඳහා තෝරාගන්නා ලදී (සියලු ආහාර සැපයීම සඳහා) ඔහු කොන්ත්‍රාත්තුව ලබාගත් දා සිට, සුප්‍රීම් ෆුඩ්ස් ව්‍යාපාරය 50 ගුණයකින් වර්ධනය විය. වසර හයක් තුළ ආරක්ෂක දෙපාර්තමේන්තුව භටයින්ට ආහාර බෙදාහැරීම සඳහා සුප්‍රීම් සමාගමට ඩොලර් බිලියන 5.5 ක් ගෙවා ඇත.

මේ යුද්ධයට සල්ලි විසිකරන ආකාරය කවුරුත් නිවැරැදිව දකින්නේ නැති බව ඔවුන් දැනගෙන හිටියහ. ආහාර කොපමණ මිල අධික වුවත්, රජයේ කොන්ත්‍රාත්තු ඔවුන්ට ලැබීම තුළින් හිතෙන පරිදි මිල ගණන් අය කළා පමණක් නොව, ව්‍යාජ උපකොන්ත්‍රාත් සමාගම් නිර්මාණය කර, විවිධ කොන්ත්‍රාත්තු දිනා ගැනීමට පටන් ගත්හ. කිසිම වැඩක් නොකරම පෙන්ටගනයෙන් විශාල මුදල් ලබා, ඔහු සුපිරි ධනවතෙක් වී බිලියනපති ලැයිස්තුවට ඇතුළත් විය. මෙවැනි යුද්ධ හේතුවෙන් බිහිවූ ඇමරිකානු  ධනවතුන්ගේ ලැයිස්තුවේ නිමක් නොමැත.

ඊළඟට අපට ඉා  පුද්ගලයා ‘ෆහීම් හෂිමි’, සුපිරි ධනවතුන් වූ ඇෆ්ගන් ජාතිකයන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකි. මේ කණ්ඩායම කොටසක් ‘9/11 කෝටිපතියන්’ ලෙස හැඳින්වේ. ඇෆ්ගන් යුද්ධයේ මුල් දිනවල ඇමරිකානු හමුදාවන්ට දේශීය සහයවන්නන් සහ පරිවර්තකයන් සඳහා විශාල අවශ්‍යතාවයක් තිබුණි. එබැවින් ෆාහිම් ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එය අවසානයේ රූපවාහිනී මධ්‍යස්ථාන, ඉදිකිරීම් සමාගමක් සහ ගුවන් සමාගමක් වැනි විවිධ මාධ්‍ය ඇතුළත් සමාගමක් බවට පත්විය. ඔහුගේ සමාගම වසරකට ඩොලර් මිලියන 200 ක් පමණ රජයේ කොන්ත්‍රාත්තුවලින් උපයාගැනීමට පටන්ගත්තේය. මේ සියලු මුදල් රටට ගලා ඒමේදී සුපිරි ධනවතුන් වූ ඇෆ්ගන් ජාතිකයන් පිරිසක් බිහිවිය.

ඊළඟට, ඇමරිකාවේ කොංග්‍රසයේම හිටපු කතානායිකා නැන්සි පෙලෝසි සහ සෙනෙට් සභික ටෙඩ් කෲස් වැනි අය ආයුධ වෙළෙන්දන් මෙන් නොව, යුද්ධයෙන් පොහොසත් වූ අයය. ඔබ කොංග්‍රසයේ සාමාජිකයෙක් නම් ඔබට ‘ලොක්හීඩ් මාටින්’ වැනි ආරක්ෂක සමාගම්වල කොටස් මිලදී ගතහැකිය. සදාචාර විරෝධී වුවත්, අවම වශයෙන් කොංග්‍රසයේ සාමාජිකයින් 47 දෙනෙකු සහ ඔවුන්ගේ කාලත්‍රයන් ඉහළම ආරක්ෂක සමාගම්වල ඩොලර් මිලියන ගණන් වටිනා කොටස් මිලදීගෙන ඇත. සමාගම් කොටස් සහ හමුදා කොන්ත්‍රාත්තු දරන මන්ත්‍රී මණ්ඩල සාමාජිකයින් 36 දෙනාගෙන් 20 දෙනෙකු රිපබ්ලිකන් පක්ෂයට අයත් වන අතර 16 දෙනෙකු ඩිමොක්‍රටික් පක්ෂයට අයත්වන ලෙස ආණ්ඩු-විපක්ෂ දෙපැත්තටම බෙදී ඇත. ඒ ඉහළින්ම  ප්‍රජාතන්ත්‍රවාදීව රට කරවන රටේ දේශපාලනයඥයන්ය. නමුත්, ඇෆ්ගනිස්තානය දශක ගණනාවක් තිස්සේ බාහිර සුපිරි බලවතුන් විසින් විනාශකර දමා ඇත.

ඇෆ්ගනිස්තානයේ ‘මුදල්’ සිරකිරීම

2021 අගෝස්තු 15 වන දින තලේබාන්වරු කාබුල් වෙත ඇතුළු වී දින කිහිපයකට පසු, එහි නියෝජිතයින් ජාතියේ මහ බැංකුව වන ‘ඩා ඇෆ්ගනිස්තාන් බැංකුවේ’ (DAB) “වත්කම්” පිළිබඳව විමසීම් කළ අතර, එය ඩොලර් බිලියන 9 ක් පමණ වන බව හෙළි විය. මිලියන 40 කට වඩා වැඩි ජනගහණයක් සහිත ඇෆ්ගනිස්තානය දුප්පත් රටක් වී, එහි සම්පත්ද යුද්ධයෙන් විනාශවිය. තම ඩොලර් බිලියන 9 ක් නිව්යෝර්ක්හි ෆෙඩරල් සංචිතයේ ඇති බව, එනම් ඇෆ්ගනිස්තාන ධනය ඇමරිකානු එක්සත් ජනපදයේ පවතින බව මහබැංකු නිලධාරීන් තලේබාන්වරුන්ට පැවසූ නමුත්, තලේබාන්වරුන් මුදල් ලබාගැනීමට පවා උත්සාහ කිරීමට පෙරම, ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉදිරියට පැමිණ ඇෆ්ගන් වත්කම් අත්හිටුවා, එය තලේබාන් පාලනයට මාරුකර යැවීම වළක්වනු ලැබීය. ඉන්පසුව මෑතකදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලොවපුරා රටවලට ණය මුදල් ලබාදීම සඳහා ඩොලර් බිලියන 650 ක ‘ජාත්‍යන්තර සංචිත වත්කම්’ (SDR) වෙන්කර තිබුණු අවස්ථාවෙහි, ඇෆ්ගනිස්තාතානය තම කොටස ලබාගැනීමට හැකිදැයි විමසූවිට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ප්‍රකාශකයෙකු විද්‍යුත් තැපෑල මගින් පැවසුවේ, “සෑමවිටම පාහේ, මූල්‍ය අරමුදල ජාත්‍යන්තර ප්‍රජාවේ අදහස් මගින් මෙහෙයවනු ලැබේ. ඇෆ්ගනිස්තානයේ රජයක් පිළිගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ දැනට පැහැදිලි බවක් නොමැති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රටට SDR හෝ වෙනත් IMF සම්පත් වෙත ප්‍රවේශවිය නොහැක” යනුවෙනි. වසර 20 ක යුද්ධය සහ විනාශය අතරතුර රට බේරාගැනීම සඳහාවූ ඇෆ්ගනිස්තානයේ මූල්‍ය පාලම්ද සෙමෙන් බිඳවැටී තිබුණි. තලේබාන් සංවිධානය කාබුල් නගරයට ඇතුළුවීමට පෙරම ඩොලර් මිලියන 370 ක් මාරුකිරීම අත්හිටුවීමට IMF තීරණය කළහ. දැන් බටහිර වාණිජ බැංකු සංගමය ඇෆ්ගනිස්තානයට මුදල් මාරුකිරීම අත්හිටුවා ඇත. ඇෆ්ගන් මුදල් ඒකකය වන ‘ඇෆ්ගන්-ඇෆ්ගානි’ ද නිදහස් වැටීමක පැවතීම, ඇෆ්ගන් ජනතාව ඍජුවම පීඩාවට පත්කරනු ඇත.

මිල අධික යුද්ධය ඉතිරි කළ දරිද්‍රතාවයෙන් පිරුණු රටක්

පසුගිය වසර 20 තුළ, ඇමරිකානු රජය ඇෆ්ගන් යුද්ධය සඳහා ඩොලර් ට්‍රිලියන 2.26 ක්  වියදම් කර ඇතැයි වාර්තාවේ. යුරෝපීය රටවල් ඇමරිකාව වියදම් කළ මුදලට ආසන්නව වියදමක් කළේ නැත. (  2018 අවසානය වන විට ජර්මනිය ඩොලර් බිලියන 19.3 ක් වියදම් කළ අතර , එයින් ඩොලර් බිලියන 14.1 ක් ජර්මානු සන්නද්ධ හමුදා සඳහා ගෙවීමට යෙදවිය) එක්සත් ජනපදය වසර 16 ක් පුරා ඇෆ්ගන් රජයට යවා ඇති ඩොලර් බිලියන 7 ක පමණ මිලිටරි උපකරණ, 2021 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය රටින් ඉවත් වීම සම්පූර්ණ කිරීමෙන් පසු ඇෆ්ගනිස්තානයේ ඉතිරි වී ඇති බව කොංග්‍රස් මණ්ඩලය විසින් නියම කරන ලද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවක දැක්වේ. එරට තලේබාන් සංවිධානය විසින් ලබාගත් අවි ආයුධ මිලියන භාගයක් නැති වී, විකුණා හෝ ත්‍රස්ත කණ්ඩායම් වෙත හොර රහසේ ගෙන ගොස් ඇති බව, ආරංචි මාර්ග බී.බී.සී.යට පවසා ඇත. ඒවා සමහරක් අල්-කයිඩා අනුබද්ධ සංවිධාන අතට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්වාස කරයි. ඇෆ්ගනිස්තානයේ වර්ධනය වූ එවන් ආධාර, සියලුම පරිත්‍යාගශීලීන්ගෙන් ලැබූ මුදල් ඇෆ්ගන්වරුන්ගේ සමාජ ආර්ථික ජීවිතයට යම් බලපෑමක් ඇති කළේද?

වසර ගණනාවක් පුරා කාබුල්හි නිලධාරීන් සමඟ කළ සංවාදවලදී, පාසල් සහ සනීපාරක්ෂාව සඳහා වැඩි ප්‍රවේශයක්, දරුවන්ගේ සෞඛ්‍යයේ වැඩිදියුණු කිරීම් සහ ඇෆ්ගනිස්තාන සිවිල් සේවයේ කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් සිටින බව දත්ත පෙන්වා දුන්නේ ය. නමුත් සංඛ්‍යා විශ්වාසකිරීම සැමවිටම දුෂ්කර විය. ඇෆ්ගන් පාසල්වලින් 41%ක ගොඩනැගිලි නොමැත. පාසල් ලබාදීමට අපොහොසත්වීමේ ප්‍රතිඵලයක් ලෙස,  2020 දී රටේ මුළු සාක්ෂරතා අනුපාතය 43% ක් වූ බවත්, පිරිමින් සඳහා සාක්ෂරතා අනුපාතය 55 %ක් වන අතර කාන්තාවන් සඳහා සාක්ෂරතා අනුපාතය 29.8% ක් බවත් ඇෆ්ගනිස්තාන අධ්‍යාපන අමාත්‍යාංශය වාර්තා කළේය. පරිත්‍යාගශීලීන්, ආධාර ආයතන සහ මධ්‍යම රජයේ නිලධාරීන් ශුභවාදී බව සහ වැඩි අරමුදල් ලබාදීම දිරිගැන්වීම සඳහා අපේක්ෂාවන් පුම්බා පෙන්වීමේ සංස්කෘතියක් ඇති කළහ. නමුත් එයින් ඉතා සුළු ප්‍රමාණයක් සත්‍ය විය. මේ අතර, පසුගිය වසර 20 තුළ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා යටිතල පහසුකම් ඉදිකිරීමක් සිදුනොවූ බව සඳහන් කිරීම කම්පනයට කරුණකි. ඇෆ්ගන් බලශක්ති සමාගම වන ‘ඩා ඇෆ්ගනිස්තාන් බ්‍රෙෂ්නා ෂර්කට්’ (DABS) වාර්තාකරන්නේ, ජනගහණයෙන් 35% කට පමණක්  විදුලිය ලබාගතහැකි බවත්, විදුලියෙන් 70 %ක් උද්ධමනය වූ අනුපාතවලට රටට ආනයනය කරන බවත්ය. ඇෆ්ගනිස්තානයෙන් අඩක්  දරිද්‍රතාවයේ ජීවත්වන අතර, ඇෆ්ගන් ජනයාගෙන් මිලියන 14 ක් ආහාර අනාරක්ෂිත බවත්, එරට දරුවන් මිලියන 2 ක් දැඩි කුසගින්නෙන් පෙළෙන බවත් වාර්තාවීම යුද්ධයේ අස්වැන්න වී තිබේ.

(අවසාන කොටස “ඇමරිකාව 9/11 ලොවට විකුණනු ලැබුවේ කෙසේද?” බලාපොරොත්තු වන්න)

ජයන්ත වැලිවිට

(දේශපාලන – ආර්ථික විමර්ශකයෙකි. මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.)

1 thought on “තලේබාන් ඇෆ්ගනිස්තානය : ලෝක බලවතුන් සහ 9\11 කෙළිබිම – ii කොටස”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top