මහනුවර දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථාවත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කඩිනම් වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලීම වෙනුවෙන් අද (06) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්විය.
ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී මෙතෙක් රාජ්‍ය සේවය සිදුකළ කාර්ය අගය කරමින් තවදුරටත් සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් එහිදී පෙන්වා දී තිබේ.
දිස්ත්‍රික්කයේ මහා මාර්ග, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයුම වාරිමාර්ග සහ සන්නිවේදන පද්ධතිය ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යථාවත් කිරීම සහ හානි වූ වගාවන් සඳහා වන්දි ලබා දීම, නැවත පදිංචි කිරීම්, පාසල් යළි ආරම්භ කිරීම් සහ සෞඛ්‍ය පහසුකම් යළි ස්ථාපිත කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳවද සොයා බැලූ අතර, එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.
දිස්ත්‍රික්කයේ ජල සැපයුම් දින 03ක් තුළ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. එතෙක් බවුසර් මගින් ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමටත්, එම කටයුතුවලදී සාමාන්‍ය ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් හදිසි අවශ්‍යතාවක් සේ සලකා ප්‍රසම්පදාන කටයුතු සිදු කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික සහාය ලබා ගැනීමටත් උපදෙස් දී ඇත.
එමෙන්ම නිවාසවල ළිං සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල මැදිහත්වීමෙන් සිදු කිරීමටද උපදෙස් දුන් අතර විශාල ප්‍රතිසංස්කරණ කටයුතු දෙවන අදියරට තබා ගනිමින් තාවකාලික පිළිසකර කිරීම් තුළින් මෙම දෙසැම්බර් 31 වනදා වන විට දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කිරීමටද
උපදෙස් ලබා දී තිබේ.
වගා කළ හැකි බිම් හදුනාගෙන ඒවා වගා කිරීමට ප්‍රමුඛතාව ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉක්මණින් වගා කළ හැකි කුඹුරු හඳුනාගෙන ඒවාට අවශ්‍ය වාරි ජලය සැපයීමටත්, එහිදී මහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ඉක්මණින් වගා කළ හැකි ගොවීන් ප්‍රමාණය සහ ගොවි බිම් ප්‍රමාණය හඳුනාගෙන ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ 02ක වන්දි මුදල කඩිනමින් ලබා දීමටද උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදාවෙන් හානියට පත් දිස්ත්‍රික්කයේ එළවළු වගාව පිළිබඳවද සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා ගනිමින් ඔවුන් වෙනුවෙන් ලබා දෙන හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක් වූ වන්දි මුදල් ලබා දීමටත්, කෙසෙල් වගාවට සිදු වූ හානි සඳහා එළවළු වගාවට ලබා දෙන වන්දි මුදලම ලබා දීමට හැකි වන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කිරීමටත් උපදෙස් දී තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් පශු සම්පත් ක්ෂේත්‍රයටද දැඩි හානි සිදුව තිබේ. ඒ සම්බන්ධයෙන්ද එහිදී විශේෂ අවධානයක් යොමුකර ඇති අතර විනාශ වී ගිය සත්ත්ව ගොවිපොළ නැවත කඩිනමින් ආරම්භ කරමින් එම ගොවීන්ගේ ආදායම් මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සහ කිරි, කුකුළු මස්, බිත්තර ඇතුළු රටේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
එමෙන්ම දිස්ත්‍රික්කයේ ඉන්ධන සැපයුම යථාවත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර මාර්ග අවහිර වීම හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වී ඇති පුස්සැල්ල සහ මීතලාව යන ප්‍රදේශවලට මාර්ග සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සම්බන්ධීකරණයෙන් අද සවස් වන විට ඉන්ධන සැපයීමටද නියමිතයි.
විශේෂයෙන් නැවත පදිංචි කිරීමේදී වැඩ සුදුසු ඉඩම් තෝරා ගනිමින් එම ආරක්‍ෂිත භූමි තුළ නිවාස ඉදිකරගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසෙන අතර නව නිවාස ඉදිකිරීමේදී අදියර ලෙස අදාළ මුදල ලබා දීමටත් නිවාස ඉදිවීම සම්බන්ධයෙන් අධීක්ෂණය කළ යුතු බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
එමෙන්ම ඉදිරියේදී මධ්‍ය කඳුකරය පිළිබඳ පුළුල් අධීක්ෂණයක් කර ඉදිකිරීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමටත් රජය අවධානය යොමුකර තිබේ.
යෝග්‍ය නොවන ඉදිකිරීම් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් පසුගිය රජයන්හිදී විශේෂයෙන් ප්‍රාදේශීය සභා මඟින් අවසර ලැබුණි.
එහෙත් ඉදිරියේදී එසේ නොකර පවතින නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටත් රජය මැදිහත් වන බව එහිදී ජනාධිපතිවරයා පවසන ලදී.
එම කාර්යයේදී විදුලි බල මණ්ඩලයට ඇති වගකීමද පැහැදිලි කළ ජනාධිපතිවරයා පැවසුවේ ස්වභාවික විපත් පැමිණීම වැලැක්විය නොහැකි වුවද ඒවායින් සිදුවන ජීවිත හා දේපොළ හානි වළක්වා ගැනීමේ අරමුණින් ඉදිරියට ක්‍රියා කළ යුතු බවයි.





