/ Feb 27, 2026

රනිල්ගේ නඩුව ගැන නීතිපති දෙපාර්තමේන්තුව මත ගැටුමකට යද්දී CID ය ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගෙනුත් ප්‍රශ්න කරලා!

මහජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නීති කෘත්‍ය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයකට මහජන මුදල් රුපියල් ලක්ෂ 160 ට ආසන්න මුදලක් වැය කර ලන්ඩන් සංචාරයක නියැලීම අදාළ ප්‍රස්තුත සිද්ධියයි.

ඒ අනුව ඊට අදාළව හිටපු ජනාධිපතිවරයාට අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ මත දෙකක් මතුව ඇති බව සඳහන්.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහි විමර්ශනය අධීක්ෂණය කරමින් සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් අදාල වගකීමෙන් ඉවත්ව ඇති බව ද වාර්තා වෙයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාගේ අදහස වී ඇත්තේ මෙම නඩුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල කිරීමට ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලින් හෙළි වී නොමැති බවයි.

කෙසේ වෙතත් අදාල විමර්ශනය හා සම්බන්ධ ප්‍රධාන අධීක්ෂණ නිළධාරියා වන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ අදහස වී තිබෙන්නේ පවතින සාක්ෂි මත පදනම්ව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකි බවයි.

ඒ අනුව මෙම තත්ත්වය සමථයකට පත්කර ගැනීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවද කියවෙයි.

මේ අතර හිටපු ජනාධිපතිවරයාට කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර කළ සහ වෛද්‍ය සහතික නිකුත් කළ වෛද්‍යවරුන්ගෙන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කර ඇති අබ්වද වාර්තා වෙයි.

ඒ අනුව ඔවුන් අදාළ වෛද්‍යවරුන් පස්දෙනාගෙන්ම මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

ජනාධිපති ධුරයෙහි සිටියදී 2023 වසරේදී නිරත වූ ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කරන ලද බවට චෝදනා කරමින් 2022 අගෝස්තු 22 වනදා හිටපු ජනාධිපතිවරයාව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. අනතුරුව ඔහුව බන්ධනාගාර රෝහලෙන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඇතුළත් කළේය.

අනතුරුව ඔහු ඇප මත නිදහස් වූ අතර ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේ ඔහුගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරුණුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top