මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම හෙට දිනයේ දී සිදු වේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම හෙට (02) දිනයේදී සිදුකළ යුතු වෙයි.
මැතිවරණ ප්‍රතිඵල අනුව දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකර නොගත් අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇත.
පළාත් පාලන ආයතන 161කට අදාළව බහුතර බලය දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් හිමිකරගෙන ඇති අතර, තවත් ආයතන 178කට අදාළව තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පූර්ණ ජයග්‍රහණයක් ලබාගෙන නැත.
ඒ අනුව, 50% නොමැති පළාත් පාලන අයතනවල සභාපති, උපසභාපති තෝරා පත් කර ගැනීම හෙට දිනයේ දී පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වීමෙන් පසුව තීරණය කෙරෙනු ඇත.
මේ අතර පළාත් පාලන ආයතන 339කට අදාළව මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඊයේ දිනයේ දී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබුණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින්, පළාත් පාලන ආයතනවල ධුර කාලය හෙට දිනයේ දී ආරම්භ වේ.