ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇලස්කා සාකච්ඡාවල ප්‍රතිඵලය, සාමය සඳහා ධනාත්මක, නමුත් තවමත් අවිනිශ්චිත ඉදිරි පියවරක් නියෝජනය කරන බව පෙන්නුම් කරයි. ඔවුන් තාවකාලික වාචික ගිවිසුම්වලට එළඹුණි. වැදගත්ම දෙය නම්, යුද්ධය අවසන්කිරීම සඳහා වන කොන්දේසි සාකච්ඡා කිරීමට සාම සමුළුවක් කැඳවීමයි. එය හුදෙක් යුක්රේනයේ හමුදා බලය නැවත පිරවීමට ඉඩ සලසන ‘සටන් විරාමයක්’ නොවේ.
දේශපාලන සාම ගිවිසුමක් ලෙස යුක්‍රේනයේ අයිතිවාසිකම්වලට සහ යුක්‍රේනයේ නැගෙනහිර පළාත් හතරේ රුසියානු භාෂාව කතාකරන ජනගහණයේ අයිතිවාසිකම්වලට ගරු කළයුතු බවට අන්‍යෝන්‍ය පිළිගැනීමක් එයින් ඇතිවිය හැකිබව පෙනේ. මෙම පළාත් සඳහා ස්වෛරීභාවය ලබාගැනීමක අවශ්‍යතාවය රුසියාවට ඇත. එකඟතාවන්ට අනුව සමහර විට තාවකාලික, නමුත්, ඕනෑම යෝජනාවක් සඳහා ප්‍රධාන කොන්දේසියක් ලෙස, ආරක්ෂාව සම්බන්ධයෙන් ස්ථිර සහතික සහිතව යුක්රේනය, නේටෝවෙන් පිටත සිටිය යුතුය. එය ඉතා හොඳ ආරම්භයක් ලෙස පෙනෙනු ඇත.
ට්‍රම්ප් සෙලෙන්ස්කි වෙත යෂ්ටිය මාරුකර ඇත. ට්‍රම්ප්ට කුමක් කළ හැකිද? ඇත්ත වශයෙන්ම, සෙලෙන්ස්කි කියන ලද්දේ රුසියාවට ද්විතීයික සම්බාධක පැනවීම ගැනයි. එය සම්පූර්ණයෙන්ම බෙලහීන බව ප්‍රායෝගික ඇත්තකි. මුළු සම්බාධක යාන්ත්‍රණය සහ ද්විතීයික තීරුබදු සාකච්ඡාව, යුධපිටියේ තත්වයන් වෙනස් කිරීමට කිසිවක් කර නැත. ඒ අනුව සම්බාධක සහ සටන් විරාමය සාකච්ඡා මේසයෙන් බැහැරව පවතී. ට්‍රම්ප් මූලික වශයෙන් පුටින් සමඟ එකඟවී ඇත. ඔහු “ඔබ කෙලින්ම සාම ගිවිසුමකට යා යුතුයි” පැවසීය,. ඉක්බිතිව සෙලෙන්ස්කි ධවල මන්දිරයට පැමිණියේ යුරෝපා නායකත්වයද පිරිවරාගෙනය.
ධවල මන්දිරයේදී සෙලෙන්ස්කි සහ යුරෝපීය නායක සාකච්ඡාවලින් පසුව ට්‍රම්ප් මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ, “මෙය අතිවිශාල කාර්යයක් බවයි”. පසුව, ජනාධිපති ට්‍රම්ප් පැවසූවේ, “රැස්වීම් අවසානයේ, මම ජනාධිපති පුටින්ට කතා කළ අතර, “සෙලෙන්ස්කි සමඟ සාකච්ඡාවක් සඳහා ‘තීරණය කළ යුතු ස්ථානයක්’ ගැන කතා කළ බවයි. එය සිදුවෙමින් පවතී. රැස්වීම සඳහා කටයුතු ආරම්භ කළෙමි. අඟලෙන් අඟල සාමයට එක් පියවරක්,” යැයිද ඔහු පැවසීය.
“එම රැස්වීමෙන් පසු, ජනාධිපතිවරුන් දෙදෙනා සහ මා ඇතුළත් වන ත්‍රෛපාර්ශ්වික රැස්වීමක් ලැබෙනු ඇත. මෙය වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින යුද්ධයක අවසානය සඳහා ඉතා හොඳ මුල් පියවරක් විය.” යැයි සඳහන් කළේය. ඒ සඳහා “උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියාව සහ යුක්රේනය සමඟ සම්බන්ධීකරණය කරමින් සිටිති.” යිද කීය.
සෙලෙන්ස්කි ධවල මන්දිරයට ගිය පසු සිදු වූ ට්‍රම්ප්-පුටින් දුරකතන ඇමතුම පිළිබඳව රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, “රුසියානු ජනාධිපතිවරයා ජනාධිපති ට්‍රම්ප්ට පැවසුවේ ‘ඇත්තෙන්ම, මම සෙලෙන්ස්කි හමුවෙන්නම්’ යනුවෙන් බව කියා සිටියේය.
ජනවාරි 20 වන දින ට්‍රම්ප් බලයට පත්වූ දා සිට මේ දක්වා රුසියානුවන් සමඟ කටයුතු කිරීමේදී ඔහු හැසිරී ඇත්තේ ඉතා නොදැනුවත්ව බව පැහැදිලිය. පසුගිය දශක කිහිපය පුරාම ක්‍රියාත්මක වූ හමුදා මෙහෙයුම්වල සියලුම මිලිටරි වැරදි, ව්‍යසන සහ ප්‍රොක්සි යුද්ධ විසඳාගත් ආකාරයටම, ඔහුට මෙම යුද්ධය විසන්ධි කිරීම හරහා විසඳාගත හැකිව තිබිණ.
නමුත් එහි අවිනිශ්චිත බවක් පැවතිණ. ඒ ඕනෑම විසඳුමකට විරුද්ධ වන බලවත් බලවේග බටහිර රටවල තවමත් පවතින හේතුවෙනි. ඇමරිකා එක්සත් ජනපදය තුළම නව කොන්සර්වේටිව්වාදීන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකෙහිම මුල් බැසගෙන සිටින බැවිනි.
ඔවුන්ගේ ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදයට (supremacist ideology) අනුව දිගුකාලීනව ගත් කළ චීනය පරාජය කිරීම, ගෝලීය වශයෙන් ඩොලරයේ ආධිපත්‍යය සහ වෙනත් තමන්ට අවශ්‍ය තැන්වල ආධිපත්‍යය සඳහා යුද්ධය අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සලකයි. ජෝ බයිඩන් පරිපාලනය තුළ මෙම කොටස් බොහෝ දුරට පාලනය තුළ සිටියහ. විශේෂයෙන් බටහිර රටවල් රුසියාව හුදකලා වී ඇති බව මවාපෑමෙන් පසුව. ලෝකය රුසියාවට විරුද්ධ බව තවමත් මවාපාමින් සිටියත්, මූලික වශයෙන් සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයන්ට දැන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ වාඩි වී මෙය විසඳා ගත හැකි යැයි විශ්වාස කළ හැකි තැනට පැමිණ ඇත.

ඇලස්කාවේ පැවති සමුළුව පිළිබඳ සත්‍යය හෙළිකර ගත යුතුය. යුක්රේනය සම්බන්ධයෙන් සාම ගිවිසුමක් ඇති නොවූයේ ඇයි සහ එය වළක්වා ඇත්තේ කුමක් නිසාද? මෙහි සාමය සුරක්ෂිත කිරීමට ට්‍රම්ප් කළ යුත්තේ කුමක්ද? යනු සමුළුවේ ප්‍රධාන කරුණු විය. සමුළුවේදී පුටින් පැහැදිලිවම තමාව හසුරුවා ගැනීමේ විශිෂ්ට කාර්යයක් කළා යැයි සිතිය හැක. රාජ්‍ය තාන්ත්‍රිකව, බුද්ධිමත්ව, ජනාධිපති ට්‍රම්ප්ට ගරු කරමින්, බටහිර රටවල තම හුදකලාව අවසන්කර, ඔහුට සැබෑ නීත්‍යානුකූලභාවයක් ලබාදීම බොහෝ දේ සිදුවීමට පෙර නිමිත්තක් විය හැකිය.
ඒ ආකාරයට ඵලදායී අරමුණු සඳහා සටන් විරාමය පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් ලෙස, සාම ගිවිසුමක් සහ සටන් විරාමයක් අතර වෙනසක් ඇති බව තේරුම් ගැනීම වැදගත් විය. රුසියානුවන්ට අවශ්‍ය වන්නේ සටන් විරාමයක් නොවේ. ඔවුන් යුධ පිටිය ජයග්‍රහණය කරමින් සිටී. ඔවුන්ට අවශ්‍ය වන්නේ සාම ගිවිසුමකි. බටහිරට සහ යුක්‍රේනියානුවන්ට අවශ්‍ය වන්නේ සටන් විරාමයකි. ට්‍රම්ප්, පුටින්ට ඒත්තුගැන්වීමට උත්සාහ කළේද, අවශ්‍ය වන්නේ සටන් විරාමයක් බවයි. එහි ප්‍රතිඵලය වූයේ, පුටින් සටන් විරාමයකට අකමැත්ත හා සාම ගිවිසුමක් ඉල්ලා සිටීමෙන් හා ට්‍රම්ප් සටන් විරාමයක් ඉල්ලා සිටීමෙන් ඉවත් වීමයි.
පසුගිය වසර 12 ක යුක්රේනයේ සම්පූර්ණ ප්‍රතිඵලය අද සොයා බැලීමේදී, සෙලෙන්ස්කි ඔහුගේ දේශපාලන ජීවිතයේ පමණක් නොව, යුක්රේනයේ සමස්ත නූතන ඉතිහාසයේම වැදගත්ම රැස්වීමකට සහභාගි විය. ඩොනල්ඩ් ට්‍රම්ප්, පූර්ණ හා පුළුල් සාම ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍ය බව කියයි. යුක්රේනය මෙම රැස්වීමට සහභාගි වන්නේ ආර්ථික, මිලිටරි සහ සමාජීය වශයෙන් පැහැර හැරීමේ අද්දර සිටය.
ඔවුන් එවැනි රාජ්‍යයක තත්ත්වයට ගමන් කලේ කෙසේද?
2014 පෙබරවාරි 21 දින ජර්මනියේ, ප්‍රංශයේ සහ පෝලන්තයේ විදේශ අමාත්‍යවරුන්ගේ මැදිහත්වීම යටතේ විපක්ෂය සමඟ අත්සන් කරන ලද ජනාධිපති යනුකොවිච්ගේ ගිවිසුම බිඳවැටීම, යුක්රේන බලධාරීන් කිසිවක් නොකර බලා සිටියදී රුසියාව ක්‍රිමියාව අල්ලාගැනීම සඳහා පෙළඹවීමක් බවට පත්විය.
ප්‍රතිඵලය වූයේ ක්‍රිමියාව අහිමිවීමයි.
2014 මැයි 25 දින සාමයේ සටන් පාඨ යටතේ පොරොෂෙන්කෝ ජනාධිපතිවරයා මැතිවරණය ජයග්‍රහණය කරනු ලබයි. වහාම, ඔහු දොන්බාස් හි ප්‍රහාරයක් සඳහා අණ කරයි. එහිදී, යුක්රේන සන්නද්ධ හමුදාවන්ගේ ආරම්භක සාර්ථකත්වයන්ගෙන් පසුව, රුසියාව මැදිහත් වන අතර, සැප්තැම්බර් 5 වන දින, පොරොෂෙන්කෝ මින්ස්ක්-1 ගිවිසුම රුසියාව සමග අත්සන් කරයි. ප්‍රතිඵලය වූයේ, උපායමාර්ගික මුලපිරීම නැතිවීම, දොන්බාස්හි කොටසක් අහිමි වීම තහවුරු කිරීම සහ ජනාධිපති බලය දුර්වල කිරීමයි.
2015 පෙබරවාරි 12 දින මින්ස්ක්-1 ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම නිසා ඇති වූ ඩෙබල්ට්සෙව්හි යුක්රේන සන්නද්ධ හමුදා පරාජයට පත්වීමෙන් පසු මින්ස්ක්-2 අත්සන් කිරීම සිදු විය.
2019 අප්‍රේල් 21 දින ජනාධිපතිවරණයේදී සෙලෙන්ස්කි, පොරොෂෙන්කෝ පරාජය කරමින්, මින්ස්ක් ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට සහ “යක්ෂයා සමඟ වුවත් සාමය සඳහා සාකච්ඡා කිරීමට” පොරොන්දු විය. නමුත්, ඔහු තම පූර්වගාමියාගේ ගමන්මගම එසේම පවත්වා ගෙන ගියේය. මින්ස්ක් ගිවිසුම් ඉටු නොවුණු අතර සෙලෙන්ස්කිගේ බටහිර රටවල උපදේශක ක්‍රියාමාර්ග සමඟ ගැටුම උත්සන්න විය. ප්‍රතිඵලය වූයේ සාකච්ඡා ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය නැතිවීම, ගැටුම් උත්සන්න වීම හා තීව්‍ර කිරීමයි.
2022 පෙබරවාරි 24 දින රුසියාව පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කළ අතර, ඉන්පසු සාකච්ඡා වහාම ආරම්භ විය. පළමුව බෙලරුසියාවෙහිදීද, පසුව මාර්තු 29 වනදින, තුර්කියේ ඉස්තාන්බුල්හි, කෙටුම්පත් ගිවිසුමක් ඉදිරිපත් කරනු ලැබීය. (එහිදී, මධ්‍යස්ථභාවය, ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ සහතික, ක්‍රිමියාවේ ගැටලුව වසර 15 කට කල්දැමීම ආදියද ඇතුළත් විය.) අප්‍රේල් 19 වන දින, සෙලෙන්ස්කි මෙම කෙටුම්පතට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළේය. ප්‍රතිඵලය වූයේ කෙර්සන්, සැපරෝෂියා, ලුගාන්ස්ක්, දනියෙස්ක් සහ හාර්කව් කලාපවල කොටස් අහිමි වීමය.
2025 – යුක්රේනය ඇමරිකානු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සාකච්ඡා වෙත ළඟාවිය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව, මෙම සාකච්ඡාවලදී යුක්රේනයට කිසිදු පාලනයක් නොමැත. හමුදාව වෙහෙසට පත්ව ඇත, ආර්ථිකය විනාශ වී ඇති අතර, භූමියෙන් සැළකිය යුතු කොටසක් (¼ ක් පමණ) දැනටමත් අහිමි වී ඇත.
ට්‍රම්ප්ගේ සාම මුලපිරීම සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කළහොත්, යුක්රේනයට නිදහස ලබාගැනීමේ තවත් උත්සාහයක් විනාශ වනු ඇත. මෙය තම අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කෙසේදැයි නොදන්නා සහ තේරුම් නොගන්නා නායකයින් විසින් ගොඩනගන ලද ප්‍රශ්නයකි. සමස්ත යුක්රේන ජනතාවගේ ප්‍රාර්ථනය සෙලෙන්ස්කිට යුද්ධය දිගටම කරගෙන යාමට ඉඩ නොදෙන ලෙසයි.
මින්ස්ක්වල හා ඉස්තාන්බුල්හි සාම ගිවිසුම් සඳහා කොන්දේසි සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කරන විට, හිටපු බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් සහ ජනාධිපති ජෝ බයිඩන් යටතේ ඇමරිකානු රජය එම සංවාද නවතා දැමීය. ඔවුන් පැවසුවේ, “හේයි, අප ඔබේ පිටුපස සිටින්නෙමු, ඔබ සටන් කරන්න.” ඔවුන් රුසියාව වැට්ටවීමට යුක්රේනය චෙස් පුවරුවක් ලෙස භාවිතා කළහ. ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ යුක්රේනයේ ජනාධිපති යනුකොවිච් රජය පෙරල දැමූ 2014 සිටම රුසියාව සටන් විරාම පිළිගන්නේ නැත. ඔවුන් ජයග්‍රාහී රියදුරු අසුනේ සිටිමින් ඔවුන් එය පිළිගන්නේ ඇයි? දොන්බොස්වලින් 90% ක් පමණ අල්ලාගෙන අවසන්ය. එනිසාම ඇලස්කා සමුළුවට පසු ුටින් මාධ්‍යට පැවසුවේ, මෙම ගැටලුවට හොඳම විසඳුම සාම ගිවිසුමකට කෙළින්ම යාම බවයි. වෙනත් වචනවලින් කිවහොත්, යුක්රේනියානුවන් සහ යුරෝපීයයන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ දෙනෙකුට අවශ්‍ය සටන් විරාමය ඉදිරියට දැමීමයි. නමුත් සෙලෙන්ස්කි පවසන්නේ පුටින් සමඟ ට්‍රම්ප් කතා කිරීමෙන් පසුත්, එය ආරම්භයක් නොවන බවයි. පෝලන්ත හා යුරෝපය ආක්‍රමණය කිරීමට පූටින් සූදානම් බව ඔහු කියයි.
සටන් විරාමයක් නැති වුවහොත්, වාසි ලෙස යුක්රේනය යුධ පිටියේදී පරාජයට පත්වන අතර බටහිරට මේ වෙලාවේ ඊට උදව්කළ නොහැකිවනු ඇත. සටන් විරාමයක් නිර්මාණය කළ හැකි නම්, යුදපිටියේ සටන් නතර කිරීමෙන් යුක්රේනියානුවන්ට බටහිරින් තවත් ආයුධ ලබාගැනීමට සහ ඔවුන්ගේ හමුදා ශක්තිමත්ව ගොඩ නගා ගැනීමට සහ පසුව රුසියානුවන්ගේ පැමිණීමට එරෙහිව වඩා හොඳ සටනක් කිරීමට ඉඩ සලසයි. රුසියානුවන් ඔවුන්ට එතරම් පිස්සුවක් නැති බව තේරුම්ගෙන ඇත. රුසියානුවන් එය පිළිගැනීමට අකමැති වුවත්, තාමත් යුක්රේනියානුවන්ට දොන්බෝස්හී 10% ක් බේරාගැනීමට අවස්ථාවක් ඇති බව පැහැදිලිය. සාමයකට එකඟවීමට සාපේක්ෂව සටන් විරාමයකට එකඟවීමේ රුසියානු දෘෂ්ටිකෝණයෙන් අවාසිය එයයි. මෙය සදහටම අවසන් කිරීමට ඔවුන්ට අවශ්‍ය දෙය බව පෙනේ. ඔවුන්ට මෙය විසඳා ගැනීමට අවශ්‍යයි, නමුත් ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ කොන්දේසි මත එය විසඳා ගැනීමටයි . මෙය තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.

මේ සියලු දේ සිදුවෙමින් තිබියදීත්, පුටින් යනු සෝවියට් සංගමය නැවත පිහිටුවීමට උත්සාහ කරන හිට්ලරියානු චරිතයක් බව, නේටෝ යුද ප්‍රචාරක යන්ත්‍රයේ නිෂ්පාදිත කතාව නැවත කරළියට ගෙන ඒ. ප්‍රශ්නයේ උත්පත්තිය වන යුක්රේනය නේටෝ සංවිධානයට එක්වීම රුසියානුවන් තම පැවැත්මට තර්ජනයක් ලෙස සැලකීම අහක දමා නොමැත. ප්‍රධාන ඉල්ලීම් තුනක් තිබේ. එකක් නම්, රුසියාව දැන් අර්ධ වශයෙන් අල්ලාගෙන සිටින එම යුක්රේනයේ දොන්බාස්හි ප්‍රදේශ හතර සහ ක්‍රිමියාව ඈඳාගෙන ඇති බව යුක්රේනය සහ බටහිර රටවල් පිළිගැනීමයි. එය අංක එකේ ඉල්ලීමයි. දෙවන ඉල්ලීම නම් යුක්රේනය මධ්‍යස්ථ (Neutral) රාජ්‍යයක් වීමයි. එයින් අදහස් කරන්නේ එය නේටෝවට ඇතුළත් එකක් විය නොහැකි අතර බටහිර ආරක්ෂක සහතික තිබිය නොහැකි බවයි. විශේෂයෙන් ඇමරිකානු ආරක්ෂක සහතිකයක් තිබිය නොහැක. තුන්වන ඉල්ලීම නම් යුක්රේනය සම්පූර්ණයෙන්ම නිරායුධ කළ යුතු නැති නමුත්, එයට ප්‍රහාරාත්මක මිසයිල මිලිටරි හැකියාවක් නොමැති තැනට නිරායුධ විය යුතු බවයි. එනම් රුසියාවට තර්ජනය කළ නොහැකි බවයි. මේවා යුක්රේන දෘෂ්ටිකෝණයෙන් සහ බටහිර දෘෂ්ටිකෝණයෙන් දැඩි ඉල්ලීම් තුනකි. අද පවතින තත්ත්වය අනුව මේවා යුක්රේනියානුවන්ට පිළිගත නොහැකි ඉල්ලීම් බව සත්‍යයකි. යුද්ධයෙන් මිලියන දෙකකට ආසන්න ජීවිත ප්‍රමාණයක් යුක්රේනියානුවන් අහිමි කරගෙන ඇත. 1990න් පසුව නෙනෙ සංවිධානය නැගෙනහිර යුරෝපාකරය දක්වා පුළුල් නොකරන බවට ඇමරිකානු නායකයන් වූ පොරෙන්දුව කඩකර, අසල්වැසි යුක්රේනය තුළට පැමිණීමට කල ඇමරිකානු කුමන්ත්‍රණයට යුක්රේනයට වන්දි ගෙවීමට සිදුව ඇත. යුද්ධයෙන් රුසියානු පරාජය වැළැක්විය නොහැකි බව පෙන්වා යුකරේනය බරපතළ අමාරුවක දමන ලද්දේ ඇමරිකාව සහ ඔවුන්ගේ යුරෝපීය සගයින්ය. එනිසා රුසියානු දෘෂ්ටිකෝණයෙන් යුක්රේනය මධ්‍යස්ථ විය යුතුය. නමුත් මේවා නිරන්තර රුසියානු කැමැත්ත වූ අතර මින්ස්ක් ගිවිසුම් යටතේ දොාස් යුධ මුක්ත කලාපයක් ලෙස තිබුණේ නම්, එසේ නොවිය යුතුව තිබුණි. දැන් මේ සියලු සටන් වලින් පසුව, හොඳම අදහස යුක්රේනයටම ආරක්ෂක වළල්ලක් අවශ්‍යවීම බව පෙනේ. එය නේටෝවක් විය නොහැක.
එක්සත් ජනපදය කැනඩාවේදී එය පිළිගන්නේ නැත.
රුසියාව කැනේඩියානු රජය පෙරළා දමා ඇමරිකාවට, වඩා සතුරු රජයක් ඇමරිකානු දේශසීමාවේ ස්ථාපිත කර, පසුව ඒ කාරණය සඳහා කැනඩාවට හෝ මෙක්සිකෝවට ඩොලර් බිලියන ගණනක් වටිනා ප්‍රහාරාත්මක අවි පොම්පකර ඇත්නම්, එය පිළිගත නොහැකි වනු ඇත. යුක්රේනයට ඇමරිකාව හා යුරෝපය සිදුකර ඇත්තේද එවැන්නකි.
“ඇමරිකා එක්සත් ජනපදය යුක්රේනයට තව කොපමණ මුදලක් දීමට කැමතිද?”යි මාධ්‍යවේදියකු ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය. ට්‍රම්ප් කියා සිටියේ, “අපි කිසිවක් දෙන්නේ නැහැ. අපි ආයුධ විකුණනවා. බයිඩන් ඔවුන්ට ඩොලර් බිලියන 300ක් දුන්නා.”යි කියායි. ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර සබඳතා වැඩිදියුණු වීමට පටන් ගෙන ඇති බව මේ අතර ජනාධිපති පුටින් පවසයි.
- ජයන්ත වැලිවිට