කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරීගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කර පක්ෂය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, අදාළ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි.
මෙම වාරණ නියෝගය දින 14ක් බල පැවැත්වෙන අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රව්ෆ් හකිම් සහ මහ ලේකම් නිසාම් කාර්යාප්පර් යන අයට නොතිසි නිකුත් කිරීමටද නියෝග කෙරුණි.
පසුගිය දෙසැම්බර් 31වනදා පැවති කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇයගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කර තිබුණු අතර නියමිත පරිදි ඇය දිවුරුම් පෙත්සමක් මඟින් ඊට නිදහසට කරුණු පවසා තිබුණද පක්ෂය විසින් එම ලිපිය භාර ගෙන නොතිබුණි.
ඒ අනුව සාධාරණ කරුණු විමසීමකින් තොරව සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඇය කොළඹ දිසා අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල විභාගයට ගනිමින් උක්ත තීන්දුව ප්‍රකාශ කර තිබේ.




