/ Aug 25, 2026

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි – සජිත්

විදුලි බිල 33%කින් අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම, තරුණයන්ට ලක්ෂ 12ට විට්ස් කාර් රථයක් ලබා දීම වැනි පොරොන්දු රැසක් මැතිවරණ සමයේ වත්මන් රජය දුන්නත් අද මේ සියලු පොරොන්දු අමතක කර ඇති බවත් රජයට අනුව රටේ ඇති ප්‍රශ්නවලට විසඳුම ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රජයේ මෙමවිහිළුකාර ප්‍රතිපත්තිය නිසා රටේ ලක්ෂ 220ක් ජනතාව අන්ත අසරණ වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව, ආඩියාගල ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමිනි.

ගොවියා රජවරුන්, ගොවියා දෙවියා කියා මැතිවරණ සමයේ හැඳින්වූ වත්මන් රජයේ සාමාජිකයන් මේ වන විට ගොවියාට අපහාස අවලාද නගමින් ගොවියා කෘත්‍රිම ගොවියා, කසිප්පුකාරයා සේම කුලය ගැන කියමින්ද ගොවියාට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරන බවත් මෙවැනි මහා ප්‍රහාර ගොවියා වෙත රජය එල්ල කරන්නේ වී වලට සාධාරණ මිලක් ඉල්ලා සිටි නිසා බවත් හෙතෙම කියාසිටියි.

වත්මන් රජය විරුද්ධ පක්ෂයේ සිටින විට කුඹුරට බැස වී කිලෝවට රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද දෙන්නේ රු. 120ක මුදලක් බවත් වී කිලෝවක් නිෂ්පාදනයට රු.137ක් වැය වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයාම පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් මේ ආකාරයට වී කිලෝවට රු. 17ක් පාඩු පිට පාඩු ලැබීම නිසා ගොවියා අන්ත අසරණ වී ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මෙවැනි තත්ත්වයක් තුළ ගොවි ජනතාව ඒකරාශී වී ගොවි ජනතාවගේ අරමුණු අභිලාභ ප්‍රාර්ථනා බලාපොරොත්තු තහවුරු කර ගැනීමට මහපාරට බහින්න කාලය එළැඹ ඇති අතර ඒ වෙනුවෙන් ගොවි ජනතාවට නායකත්වය ලබා දීමට සමගි ජන බලවේගය සූදානම් බව ඔහු තවදුරටත් අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top