දකුණු ආසියාවේ ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදන සමාගමක්වන ලුමාලා සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම වැසී යාමේ අවදානමක් මතුව ඇති බවට එහි සේවකයෝ කණස්සල්ල පළකරති.
දශක පහකටත් වැඩි කාලයක් පුරා මෙරට ප්‍රමුඛ සමාගමක් ලෙස නමක් දිනා සිටින පානදුර පිහිටි ලුමාලා පාපැදි නිෂ්පාදන සමාගම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ අසාධාරණ වෙළෙඳපොළ තත්ත්වයන් හේතුවෙන් මෙසේ වැසී යාමේ අවදානමකට මුහුණ පා තිබෙන බවයි වාර්තා වන්නේ.
සමාගමේ කළමනාකාරීත්වය මේ වනවිටත් කොටස් වශයෙන් සමාගමේ වැඩකටයුතු නවතා දැමීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව,ශ්‍රී ලංකාවේ පිහිටි ක්‍රොමියම් ප්ලේට් නිෂ්පාදනාගාර කිහිපය අතුරින් එකක්වන ලුමාලාහි ක්‍රොමියම් ප්ලේට් නිෂ්පාදනය නවතාලීමටත් වානේ රිම් නිෂ්පාදන ඒකකය සමාප්ත කිරීමටත්, සමාගම කටයුතු කර තිබේ.
ඉදිරියේදී, ෆෝර්ක් සහ මඩ්ගාඩ් නිෂ්පාදනය, ඇලෝ රිම් නිෂ්පාදනය, ෆ්‍රේම් නිෂ්පාදනය සහ පින්තාරු නිෂ්පාදන ඒකකය ඇතුළු අංශ ගණනාවක් වසා දැමීමට සිදුවනු ඇති බවයි එම සමාගමේ කළමණාකාරීත්වය පෙන්වා දෙන්නේ.
දශක දෙකකටත් වැඩි කාලයක් පුරා ලුමාලා සමාගම වෙනුවෙන් සේවය කළ සේවකයින් දැන් තමන්ගේ රැකියාව අහිමිවීමේ අවදානමකට මුහුණපා සිටින බව ලුමාලා කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරී රන්ජිත් සිරිවර්ධන සඳහන් කළේය.
මෙම අර්බුදයට බලපෑ ප්‍රධාන කරුණක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ නිසි නියාමනයකින් තොරව සිදුකෙරෙන පාපැදි සහ විද්‍යුත් පාපැදි ආනයනයයි.
එමෙන්ම ඇතැම් වෙළෙඳ ආයතන, පාපැදි අමතර කොටස්, පාපැදි නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස හුවාදක්වමින් රේගු බදු සහ වැට් බදු වංචා සිදුකරමින් විශාල ලෙස ලාභ ඉපැයීමටත්, ඉතාම අවම මිලගණන් යටතේ එම පාපැදි වෙළෙඳපොළට නිකුත් කිරීමටත් පියවර ගෙන ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් රාජ්‍ය නිලධාරීහු මීට පෙර දේශීය කර්මාන්ත රැකගැනීම වෙනුවෙන් කැපවන බවට ප්‍රකාශකර ඇති පසුබිමක රජයේ මැදිහත්වීම තුළින් තම රැකියා ආරක්ෂා කරගැනීමට මෙන්ම කර්මාන්තය ආරක්ෂා කරගැනීමට ද හැකිවනු ඇති බව සේවකයින් විශ්වාසය පළ කරයි.