සවුදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ ඩීසල් තෙල් රැගත් බවුසරයක් එකිනෙක ගැටී ගිනිගෙන ඇති වූ අනතුරින් පුද්ගලයින් 42දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එම අවාසනාවන්ත අනතුරින් මියගොස් ඇත්තේ ඉන්දීය වන්දනාකරුවන් පිරිසක් බව සඳහන්.
මෙම කණ්ඩායම තම චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මක්කම සිට ආපසු යමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි විදෙස් පුවත් වාර්තා කර ඇත්තේ.
ගල්ෆ් ප්රවෘත්ති වාර්තාවකට අනුව, බොහෝ මගීන් ඒ වන විට නිදාගෙන සිටි අතර, ගැටීමෙන් පසු බස් රථය ගිනි ගන්නා විට ඔවුන්ට පැන යාමට ඇති ඉඩකඩ ඉතා අඩු වී ඇති බව කියවෙයි.
විපතට පත්වූවන් අතර අවම වශයෙන් කාන්තාවන් 11 දෙනෙකු සහ දරුවන් 10 දෙනෙකු සිටින බව වාර්තා වෙයි. නමුත් බලධාරීන් තවමත් සංඛ්‍යා තහවුරු කර නොමැති අතර බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවත්, වින්දිතයින් හඳුනා ගැනීම අතිශයින් අභියෝගාත්මක බවත් දැක්වෙයි.
මේ අතර මොහොමඩ් අබ්දුල් ෂොයිබ් නම් එක් අයෙකු දිවි ගලවා ගෙන රෝහල් ගත කර ඇති නමුත් ඔහුගේ තත්ත්වය පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා කර නැත.





