සඳුන් ප්‍රියංකර විතානගේ
ඊයේ (02) ගම්පොළට පැමිණියෙමි. ගම්පොළට පිවිසීමට හැකි එකම ප්‍රධාන මාර්ගය වන්නේ කුරුණෑගල, ගලගෙදර මාර්ගයයි. නාවලපිටිය හරහා ඉතා දුෂ්කර අතුරු මාර්ග හරහා පිවිසිය හැකි අතර පැය ගණනක් ගෙවා අප පැමිණියේ ඒ හරහාය.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගම්පොළ චිත්‍රය අතිබිහිසුණුය. ඒ බිහිසුණුකම වඩාත් බරපතළ වන්නේ එය තවමත් හරිහැටි රටට සන්නිවේදනය වී නැති නිසා ය.
2004 සුනාමියෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතළම ඛේදවාචකය දිට්වා විසින් ගෙනා බව කිව යුතු ය. සුනාමියෙන් වුණ හානිය එහි සහන සේවාවලට සම්බන්ධ වූ වයස 22ක ගැටවරයෙකු ලෙසින් දුටුවෙමි. ගම්පොළ නගරය හසුව තිබුණේ සුනාමියකට ය. සිදුව ඇති හානියේ බරපතළකම වන්නේ, හානිය තවමත් තක්සේරු කරගත නොහැකි වීමයි.
ගම්පොළ නගරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. එහි ආර්ථිකමය හානිය රුපියල් කෝටි ගණනක් විය හැකි වුවත් මිනිස් ජීවිතවලට සිදුව වී ඇති හානි තවමත් තක්සේරු කර නැත.
28 වැනි දා රාත්‍රියේ දී විනාඩි කිහිපයක් ඇතුළත මුළු නගරයම ජලයෙන් යටව ගියේ නින්දේදීම විශාල පිරිසකට ජීවිතය අහිමි කරමිනි. ( එම ජීවිත ගැන මෙහි හමුවන ජනයා පවසන සංඛ්‍යා ඇඟ කීරි ගස්වන තරම් භයානක නමුත් තවත් නිල වශයෙන් තහවුරු කරගෙන නැති බැවින් සංඛ්‍යාත්මකව පැවැසිය නොහැකි ය.) මුළු නගරය හතලිස් ගණන්වල පැමිණි ගංවතුරටත් වඩා ඉහළින් යටවී ගොස් තිබුණි. (එයට සාක්ෂි ඡායාරූප, වීඩියෝ ආදිය බොහෝ තිබේ.)



කිව නොහැකි තරමට අනෙක් හානිය සිදුව තිබුණේ ගම්පොළ තදාසන්න කඳුවැටිවලින් ගහණ ගම්මාන ආශ්‍රිතවයි.
ගම් පිටින් නාය ගොස් ඇති ස්ථාන ගණනාවකින් කිහිපයකට අති දුෂ්කර ලෙස පයින් ගමනින් පිවිසී දෑසින් දැක ගත්තේ කිසිදු වාහනයකට යා නොහැකි තරමට ඒවායේ මාර්ගද විනාශ වී ඇති නිසා ය.
බෙරවිල – අම්බුළුවාව පාර වත්තෙ කඩේ දක්වා, කුරුඳුවත්ත පාර 1 කණුව සිට වැලිකන්ද දක්වා – කොහොවල, රජතලාව පුපුරැස්ස ( මධ්‍යස්ථානයේ 500 ක පමණ පිරිසක් සිටිති), මාවීකුඹුර, අංගම්මන ( නුවරඑළිය පාර),මාවනැල්ල මහන්තේගම පාර, හෙළසිරිගම අක්කර 100 ,ගම්පොල කුඩමාකේ යන ස්ථානවල ඉතා විශාල වශයෙන් නාය ගොස් තිබේ. ඒවායේ සමහර තැන්වල පවුල් පිටින් වැළැලී ගොස් තිබේ. සමහර තැනෙක ගම් පිටින් වැළළුණු බව කියති.
ඉතිරිව සිටින පිරිස් දරුණු අබග්ගයකට මුහුණ පා ඇත්තේ, පාරවල් විනාශ වී ඇති නිසා පමණක් නොවේ. ගම්පොළ නගරයම විනාශ වී ඇති නිසා කිසිදු තැනකින් මුදල්වලට හෝ බඩ සා දුකට කිසිවකේ ලබා ගත නොහැකි බැවිනි.
තැනෙක දවසම කුරුම්බා ගෙඩි කිහිපයකින් දවස ගෙවා ගත් පිරිසකි. තවත් තැනෙක, මුරුක්කුවකින් සහ තේ උගුරකින් සුදහ ගින්දර නිවාගත් පිරිසකි.
හද දවන කතා නිමක් නැත.
දුෂ්කරම කටයුත්තට ඉදිරියෙන් ම ගමන් කරන Mkcp Shasheen මේ වන විටත් වැඩ අරඹා දවස් කිහිපයක් බව අප කවුරුත් දනිමු. තැන් කිහිපයකට ඉතා දුෂ්කර ලෙස ගමන් කර හැකි පමණින් අවශතා සැපිරීමට ඔහු මූලිකත්වය ගෙන තිබේ. Sanjaya Bandara , Upul Nelundeniya , Nipuna Batugodage ඇතුළු පිරිසද ඒ අතරය. නදී තේනුවර පැමිණියාය. නම් සඳහන් නොකරන තවත් බොහෝ පිරිසකි.
මේ දක්වා කිසිදු ඇසකට නොගැටුණු තැන් තවත් ඇති බව කියති.
ලැබී තුබු වියළි ආහාර අවශ්‍යම මිනිසුන්ගේ අතට බෙදා හැර අවසන් ය. තවත් ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. එය අවශ්‍යතාවට නොසෑහෙන්නේ ය. වියළි ආහාර ටිකක් දැනටමත් ලැබී ඇත්නම්, “මහත්තයෝ අපට ටිකක් තියනවා අහවල් ගමට ගෙන ගොස් දෙන්නටැ”යි කියන්නට තරම් පූජනීය හිමිවරු ඒ අතර සිටිති.
තව ටික දිනකින්, සියල්ලම මෙන් මේ ව්‍යසනයද සාමාන්‍යකරණය වනු ඇත. ආධාර ලබා දෙන ජනතා රැල්ලද අප අකමැති වුවද බැස යනු ඇත. රටේ අනෙක් පෙදෙස්වල ජනයාද ජීවත් වන්නේ කේතුමතියක නොවන බැවිනි.
මේ ව්‍යසනයෙන් ගම්පොළ ගොඩ ගැනීම රජයට පවා ඉතා බරපතළ කටයුත්තක් බව කිව යුතු ය. අඩුම තරමේ මේ අප සහෝදර ජනයා හුස්මක් කටක් ගන්නා තෙක් බත් කටක් සැපයීමවත් අප කළ යුතු ය.
ලියන්නට බොහෝ දෑ තිබුණත් වචන අසමත් මොහොතකි. ඔබේ උදව්ව අවැසිය.
ඒවා මෙතැනට මේ අයට බාර දිය හැකි ය.
https://maps.app.goo.gl/HM5v3aMJ37C3tSSz6?g_st=ipc
107/5 ශ්‍රී සද්දානන්ද මාවත, කටුවාවල, බොරලැස්ගමුව. (බොරලැස්ගමුව දුම්පරීක්ෂණ මධ්‍යස්ථානය පිටුපස)
රවීෂ 077 368 3140
යමිල් 071 162 0319
තිවංක 077 117 9729
චතුරංග 077 839 9627









