හෙට (18) දින පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව හෙට (18) වැනි දිනට රැස්වීමට කැඳවා ඇති පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා ද රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබේ.
හෙට දින පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
දෙසැම්බර් 19 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති අතර එදින රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කරගැනීමට සැලසුම් කර ඇත.





