/ Feb 13, 2026

හිටපු ඇමැති දේවානන්දා පාතාලයට සම්බන්ධයි ද?

ප්‍රකට දෙමළ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ ඔහුට යුද හමුදාව විසින් නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් පැවසූ තොරතුරක් අනුව සොයා ගැනීමේ සිදුවීමකට අදාළවයි. මෙම ගිනි අවිය කුප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකුරේ මධුෂ් සතුව කලක් තිබී ඇති බවද පැවසේ.

දේවානන්දා යනු දෙමළ දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු එල්.ටී.ටී.ඊ.ය පැවැති කාලය පුරාම ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවේ ඉහළින් ම සිටියේ ය. 1957 වසරේ යාපනයේ උපත ලැබූ දේවානන්දා, තරුණ වියේදීම දෙමළ බෙදුම්වාදී අරගලයට සම්බන්ධ විය. ඔහු මුලින්ම ‘ඊලාම් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය’ (EROS) හරහා දේශපාලනයට පිවිසි අතර පසුව ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ (EPRLF) ආරම්භක සාමාජිකයෙකු විය. පසුව ඔහු ඉන් වෙන්වී ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) පිහිටුවා ගත්තේය.

1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු බොහෝ දෙමළ සන්නද්ධ කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වූ අතර, දේවානන්දා ඒ අතරින් කැපී පෙනෙන චරිතයක් විය. 1994 වසරේ සිට අඛණ්ඩව යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු, ශ්‍රී ලංකාවේ විවිධ ආණ්ඩු යටතේ කැබිනට් අමාත්‍ය ධුර රැසක් හොබවා ඇත.

ඩග්ලස් දේවානන්දා සහ වේළුපිල්ලේ ප්‍රභාකරන් අතර පැවතියේ දැඩි සතුරුකමකි. LTTE සංවිධානය ඔහුව “ද්‍රෝහියෙකු” ලෙස සැලකූ අතර දේවානන්දා ඝාතනය කිරීමට ඔවුන් 10 වතාවකට වඩා උත්සාහ කළහ. 2004 වසරේදී කොළඹදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය ඇතුළු සියලු ප්‍රහාරවලින් ඔහු ඉතා වාසනාවන්ත ලෙස දිවි ගලවා ගත්තේය.

යුද සමයේදී ඔහුගේ පක්ෂය (EPDP) රජයට සහය දෙමින් උතුරේ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවිධ මානව හිමිකම් චෝදනාද එල්ල විය. එසේ ම පැරා මිලිටර් කණ්ඩායම් ලෙස සංවිධානය වී එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීමටත් එයට සහය දැක්වූ උතුරේ ජනතාව මර්දනය කිරීමටත් සහය වූ බවටද කියැවිණි. LTTE සාමාජිකයන් හෝ ඔවුන්ගේ සැපයුම් ජාලයන් හඳුනා ගැනීම සඳහා හමුදාවට ක්ෂේත්‍ර මට්ටමින් බුද්ධි තොරතුරු සැපයූ බවට ඔවුන්ට චෝදනා එල්ල විය. මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය වැනි සිදුවීම්වලදී EPDP සාමාජිකයන්ගේ සම්බන්ධයක් ඇති බවට චෝදනා එල්ල වුණු අතර දේවානන්දා ඒවා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කළේ ය.

කෙසේ වෙතත් මෙම ගිනි අවිය සොයා ගැනීම සිදුව ඇත්තේ 2019 වසරේ දී ය. දෙමළ සන්නද්ධ කණ්ඩායම සහ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සබඳතා තිබු බව නොරහසකි. ආයුධ හුවමාරුවීම්, ඝාතන සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම් ද ඒ අතර තිබේ. මෙම සිදුවීම හරහා දිගින් දිගට විමර්ශන සිදුවන්නේ නම් බොහෝ තොරතුරු අනාවරණය වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top