/ Feb 12, 2026

ගමේ ප්‍රභූ පාලනය වෙනුවට ප්‍රජා පාලනයක් – ලාල්ගෙන් තවත් අලුත් කතාවක්!

ජාතික මට්ටමින් සිදු වූ වෙනස බිම් මට්ටම දක්වා යමින් ගමේ ගොඩනැගී තිබූ ප්‍රභූතන්ත්‍රවාදය වෙනුවට ප්‍රජා පාලනයක් එමින් තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැවසුවේය.

රජය විසින් ක්‍රියාත්මක කාන ප්‍රජා ශක්ති වැඩසටහන ඔස්සේ එය සිදුවෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් ප්‍රජා ශක්ති වැඩසටහනට සහභාගිවෙමිනි.

දිළිඳුබව තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ප්‍රජා ශක්ති වැඩසටහනට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයත්, ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලයත් එක්ව දිවයිනේ 14,007ක් වන ග්‍රාම සේවා වසම් තුල පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්ත සමුළු මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

මෙහිදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අදහස් පළකරමින් පැවසුවේ නියෝජිත ප්‍රජතන්ත්‍රවාදය විසින් නිෂ්ක්‍රීය කර තිබුණු ප්‍රජා සහභාගීත්වය මේ වන විට වෙනසකට ලක්කරමින් ප්‍රජාව සක්‍රීය කර ඇති බවයි.

“අපේ රටේ පාලනය ප්‍රවීණ දේශපාලඥයන්ට අනුව ලංකාවේ වෙලා තියෙන ප්‍රබලම වෙනස තමයි ප්‍රභූතන්ත්‍රවාදය බලයෙන් පහ කිරීම. 1948 දක්වා ආපස්සට ගියත් අපේ රට පාලනය කරලා තියෙන්නේ එක්තරා ප්‍රභූ පන්තියක් සහ ඒ වටා පෙළ ගැසුණු පිරිසක්. එතනින් එහාට බටහිර පාලකයන්ගේ පාලනය ගත්තත් ප්‍රභූ පැලැන්තියේ පාලනයක්. අපේ රජ්ජුරුවන්ගේ කාලය ගත්තත් ප්‍රභූ තන්ත්‍රපාලනයක් තමයි අපේ රටේ තිබිලා තියෙන්නේ. අපේ රටේ මුළු ඉතිහාසයම 2024ට කලින් ප්‍රභූ පැලැන්තිවල පාලනයක් තමයි තිබිලා තියෙන්නේ. දේශපාලන විචාරකයෝ දැන් කියනවා ඒ තත්ත්වය ලංකාවේ වෙනස් වෙලා තියෙනවා කියලා. සමහරු වචනයක් පාවිච්චි කරනවා දැන් තියෙන්නේ නිර්ප්‍රභූ පාලනයක් කියලා. දැන් අපේ ගම්වල ගත්තත් මේ ප්‍රභූතන්ත්‍රවාදී ආධිපත්‍යයක් තිබුණා.

මේ ප්‍රජා ශක්ති වැඩසටහනින් ගමට ප්‍රභූත්වයේ යටත්වාදය වෙනුවට ප්‍රජාවගේ පාලනයක් එනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් එනවා. මේ තුළින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වීමක් සිදු වෙනවා. ආර්ථික වශයෙන්, සමාජයීය වශයෙන්, දේශපාලනමය වශයෙන් මේ පුළුල් වීම සිදු වෙනවා. මේක එක්තරා ආකාරයක පාලන ක්‍රමවේදයක අන්තර්ගතයක්. ජාතික මට්ටමින් වුණු වෙනස බිමටම ගලාගෙන යන ක්‍රියාවලියක් තියෙනවා. ප්‍රජාව තමයි මූලික වෙන්නේ. රාජ්‍ය සේවය සහ ප්‍රජාව සෘජුව සම්බන්ධ වෙලා යන වැඩසටහනක්.

දැන් අපේ තියෙනවනේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා ප්‍රබල දුර්වලතාවයක්. ඒ තමයි මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය විසින් ජනතාව නිෂ්ක්‍රීය කරනවා. දෛනික පාලනයෙන් ජනතාව හුදකලා කරනවා. අවුරුදු 4කට 5කට ඔවුන්ට ඡන්දය පාවිච්චි කරන්න ලැබෙනවා. ඊට පස්සේ දෛනික ක්‍රියාකාරිත්වයේදී ආර්ථික, සමාජයීය, සංස්කෘතික පැතිවලින් ජනතාව නිෂ්ක්‍රීයභාවයට පත්කරනවා. ප්‍රජා ශක්ති වැඩසටහන හරහා ජනතාවගේ නිෂ්ක්‍රීයභාවය අහෝසි කරනවා. පුරවැසියා සක්‍රීය පුද්ගලයෙකු බවට පත්කරනවා, සමාජ ආර්ථික දේශපාලන කටයුතුවලදී. ඒක තමයි මේකේ තියෙන මූලධර්මය. ජනතාවගේ නිෂ්ක්‍රීයභාවය තුළ තමයි ප්‍රභූතන්ත්‍රවාදය බැබලෙන්නේ.”

ඒ අනුව ප්‍රජා ශක්ති වැඩසටහන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රසාරණය කිරීමක් කරන අතර ගමට එක්තරා ආකාරයකට බලය ලැබීමක් බවත් ජනතාව පාලකයන් බවට උසස් වීමක් ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top