/ Feb 16, 2026

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට විරෝධය දක්වා නීතිඥ සංගමය අද රාජකාරියෙන් ඉවත් වෙද්දී NPP නීතිඥ එකමුතුවෙනුත් නිවේදනයක්!

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතිඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්ව සිටියි.

අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් ඊයේ (15) පස්වරුවේ පවත්වනු ලැබූ අතර ඊට සියලුම සාමාජිකයින් කැඳවා තිබුණි.

එම රැස්වීමේදී උක්ත තීරණය ඇතුළුව තීරණ 4ක් ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගනු ලැබූ ඒකමතික තීරණ වන්නේ

  1. වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.
  2. දීප ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුුතුවලින් අද දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.
  3. මෙම කෘර අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.
  4. තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.

වසර 14කට පසුව රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමට නීතිඥයින් 3,500ක පමණ පිරිසක් සහභාගී වූ බවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඇතැමුන් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්ව සිට ඇත.

මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමයෙන්ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

පසුගිය පාලකයන් විසින් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා පාර රාජ්‍ය තුළ පෝෂණය කළ මැරවරයින් විසින්, පුරවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳ අධිකරණය තුළත් ඉන් පිටතත් හඬ නගන මෙන්ම ඊට කැපවෙන ප්‍රජාවක් වෙතට එල්ලවූ එම ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි එහි අවධාරණය කර ඇත්තේ.

”සාහිසකයින්ගේ ප්‍රහාරයට ලක්ව 2026.02.13 දින අප අතරින් වියෝවූ බුද්ධික මල්ලවආරච්චි වෘත්තීය සහෝදරයා සහ ඔහුගේ බිරිඳගේ වියෝව පිලිබඳ ජාතික ජන බලවේගයේ නීතිඥයින් ලෙස අපි දැඩි සංවේගයට පත්වන්නෙමු. පසුගිය පාලකයන් විසින් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා පාර රාජ්‍ය තුළ පෝෂණය කළ මැරවරයින් විසින්, පුරවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳ අධිකරණය තුළත් ඉන් පිටතත් හඬ නගන මෙන්ම ඊට කැපවෙන ප්‍රජාවක් වෙතට එල්ලවූ එම ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. දහවල් කාලය තුළ සාමාන්‍ය පුරවැසියන් ගැවසෙන වටපිටාවක ආයුධ සන්නද්ධව පැමිණ නිරායුධ පුරවැසියන් මරා දමන්නට දරුණු මැරවරයින්ට බලය හිමිවූ අඳුරු පරිච්ඡේදය හැකිතාක් ඉක්මනින් නිමා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වර්තමාන රජය එකී අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වන වේගයටත් වඩා වැඩි වේගයකින් කටයුතු කළ යුතු බව මෙකී සිදුවීම පසක් කරයි. එයට හේතුව මෙකී සිදුවීමේ වින්දිතයා වන්නේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වීම හේතුවෙන් පමණක්ම නොව එය මෙරට පුරවැසියන් දෙදෙනෙකුට එල්ල වූ කුරිරු හා අමානුෂික ප්‍රහාරයක් නිසාවෙනි. එමෙන්ම ප්‍රශ්නය තම පරිදියට ඇතුළු නොවන තාක් විචිත්‍ර සංකල්ප ගෙනහැර දැක්වීම කළ හැකි වුවද ප්‍රශ්නය තම පරිදියට පැමිණි පසු එහි බරපතළකම සේම ජීවිතය පිළිබඳව තැති ගැන්ම සියලු දෙනා කෙරෙහි පවතී. මන්ද පාර රාජ්‍යයේ ලේ පිපාසිතයින්ගේ ඉලක්කය විටක මාධ්‍යවේදියෙකි. විටක පොලිස් නිලධාරියකි. විටක විනිසුරුවරයකි. පසුගිය සිකුරාදා දිනයේදී පසක් කළේ එකී ඉලක්කය විටෙක නීතිඥවරක් වුවද විය හැකි බවයි. එය හෙට කුමන වෘත්තියක් ඉලක්ක කර ගනු ඇත්ද යන්න උපකල්පනය කළ හැකි නොවේ. නමුත් නිතැතින්ම නීතිඥවරු ලෙස අප පසක් කරන්නේ රාජ්‍යයට එකී වගකීමෙන් මිදිය නොහැක්කා සේම යුක්තිය පසිඳලීමේ සහ ඒ වෙනුවෙන් සිදුකරන විමර්ශන මෙන්ම පූර්ව අපරාධ වැළැක්වීමේ ක්‍රමවේදවල දැති රෝද අන් සැමදාටත් වඩා වේගයෙන් ක්‍රියාත්මකවීම සිදුවිය යුතු බවයි. සියලු පුරවැසියන්ගේ ගෞරවය හා යහපත් ජීවිතයක් වෙනුවෙන් පත් කරන ලද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තම වගකීම ඉටුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. ශ්‍රී ලංකා පොලිසිය සහ රාජ්‍ය යාන්ත්‍රණය මෙකී ක්‍රියාව සම්බන්ධයෙන් නිසි උද්යෝගයෙන් යුතුව කඩිනමින් විමර්ශන කටයුතු අවසන් කොට අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

සභාපති
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top