බුද්ධ ශාසනයට එරෙහි ක්‍රියාමාර්ග හේතුවෙන් සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා ලබන 20 වැනිදා කොළඹට කැඳවා දැනුවත් කිරීමට පියවර ගන්නා බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
”යම්යම් අඩුපාඩුකම් හැම ආණ්ඩුවකම දකින්න තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කලා වගේ අඩුපාඩු නැති කිසිවෙක් නෑ. නමුත් රාජ්‍යක් හැටියට අපි අපේම ඡන්දයෙන් පත්කර ගත්ත, රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගත්ත ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදාක තිබිලා නෑ මේ තරම් ඉලක්ක කොට සමස්ථ ශාසනයටම ප්‍රහාර එල්ල කරන ආණ්ඩුවක්” යනුවෙන් උන්වහන්සේ පැවසූ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් කුමනාකාර මැදිහත්වීමක් සිදුකළ යුතුද යන්න එම හමුවේදී තීරණය කරන බව උන්වහන්සේ සඳහන් කළහ.
තමන් වහන්සේද කලක් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික භික්ෂු පෙරමුණේ සභාපති ලෙස කටයුතු කළ අතර ජාතික භික්ෂු පෙරමුණ මෙහෙයවූයේ කුමන කාරණයකට ද යන්න දන්නා බවත් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් නොවන බවත් දඹර අමිල හිමියෝ සඳහන් කළහ.
වත්මන් ආණ්ඩුවට ඇත්තේ කොමියුනිට්ස් ආකල්ප හෙයින් ශාසනය වෙනුවෙන් යහපතක් කරනු ඇතැයි විශ්වාසයක් නොමැති බවයි උන්වහන්සේ පැවසුවේ.
උන්වහන්සේ මෙම අදහස් දක්වා සිටියේ අද (16) කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමිනි.
කලක් ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඉතා සක්‍රීයව කටයුතු කළ පූජ්‍ය දඹර අමිල හිමි පසුකාලීනව එක්සත් ජාතික පක්ෂය හා එක්විය.
අද (16) මාධ්‍ය හමුවක් කැදවමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.





