රාජ්ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ, බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.
ඒ අනුව ඊට කමිටුවක් ද පත් කර ඇති බව ජනාධිපතිවරයා පැවසුවේය.
රට තුළ ඇති වන ආර්ථික කම්පනයට මුහුණදීම සඳහා ප්රමාණවත් තරම් රුපියල් පැවතියද බාහිර කම්පනයකට මුහුණදීමට ආර්ථික ශක්තිමත් නොමැති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
කෙසේවෙතත් වෘත්තීමය රාජ්ය සේවයේ පුරප්පාඩු රැසක් මතුව තිබෙන නමුත් දේශපාලන පත්වීම් හේතුවෙන් එම සේවය පහළ මට්ටම් පිරී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ අනුව ඇතැම් රාජ්ය ආයතන වසාදැමීමටත් ඇතැම් ඒවා ඒකාබද්ධ කිරීමටත් තීරණය කර තිබේ.
මෙරට රාජ්ය සේවය ආකර්ෂණය නොවන බැවින් බොහෝ පිරිස් එය අතහැර යන බවත් වෘත්තීයවේදී රඳවාගැනීමට සමත් රාජ්ය සේවයක් රට තුළ ඇතිව නොමැති බවත් හෙතෙම සඳහන් කරන ලදී.
එවන් අසීරු පසුබිමක මූලික වැටුප ඉහළ නැංවීමට තීරණය කළ අතර 2027 වසරේදී වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් අවශ්යව ඇති බැවින් මෙම අයවැය ලේඛනයේදී දීමනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2028 වසරේදී මූලික වැටුප වැඩි නොවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
” අපි තීරණයක් අරන් තියෙනවා සමහර ආයතන වහලා දාන්න. සමහර ආයතන ඒකාබද්ධ කරන්න. දැනට අපි මුදල් අමාත්යාංශයෙන් ආයතන තිස් හතරක් වැහීම පිළිබඳ තීරණයක් අරන් තියෙනවා. වහන්න කමිටුවක් පත් කරලා තියෙනවා. එකක් වැහුවොත් දීමනාවක් දෙනවා. වහන එකත් අමාරුයි ඒ තරම්. මොකද මේවා විශාල පැටලිලි සහගතයි. සමහර ආයතන ගොඩනැගුණේ ඇයි? සමහර ආයතන ගොඩනැගෙන යුගයට වඩා දැන් වෙනස් වෙලා තියෙනවා. එදා තිබුණු අවශ්යතාවය නෙමෙයි අද තියෙන්නේ. එදා සමහර ඒවායින් හිටියේ රාජ්ය අංශය විතරයි. හැබැයි අද එළියේ ලොකු පෞද්ගලික අංශයක් තියෙනවා. එතකොට ඒවා අපි විතරක්ම කරන්න ඕනෙද? එක්කෝ ඒවා අපිට අත්හරින්න පුළුවන්ද? පෞද්ගලික අපිට ගන්න එක ලාභද? වෘත්තීයවේදීන් කොහොමද නේද අපි රාජ්ය සේවයට බඳවා ගන්නේ? කොහොමද වෘත්තීයවේදීන්ට ආකර්ෂණයක් බවට මේ රාජ්ය සේවය පත් කරන්නේ? එහෙම නැත්නම් මම හිතන්නේ අපේ රාජ්ය සේවය විශාල අර්බුදයකට මුහුණ දෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා පැහැදිලි කරන ලදී.





