/ Feb 24, 2026

ගල් අඟුරු වලින් වංචාවක් සිදුව නැතැයි ආණ්ඩුව කියද්දී පාඩුව ගණනය කරලම පෙන්වයි?

විපක්ෂය පවසන ආකාරයේ කිසිදු ගල් අඟුරු වංචාවක් සිදුවී නොමැති අතර වත්මන් ආණ්ඩුව යටතේ ගල් අඟුරු මිලදී ගැනීම සිදුවන්නේ රටට ඉතාම වාසිදායක ලෙසින් බවට ජාතික ජන බලවේගය ආණ්ඩුව පවසා තිබෙන පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය, පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ පිළිබඳ කාරක සභාව වෙත යොමුකළ ලිපියේ දැක්වෙන පරිදි රජය ගෙන්වූ ගල්අඟුරු නැව් අටේ බාල ගල් අඟුරුවලින් තක්සේරුගත සෘජු පාඩුව රුපියල් මිලියන 7,672ක් ලෙස දැක්වෙයි.

මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ක්‍රියාත්මක වන්නේ ගල්අඟුරු දහනයෙන් වන අතර
ඒ සඳහා ආනයනය කෙරුණු නෞකා 8 ක ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බව පසුගියදා ඊට අදාළ රසායානාගාර තත්ත්ව වාර්තා මගින් අනාවරණ වීමත් සමඟ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ.

එම ප්‍රශ්නගත තත්ත්වය තවදුරටත් විසඳුමකට පැමිණ නැති අතර ඉදිරියේදී එම බාල ගල් අඟුරු හේතුවෙන් ලක්විජය බලාගාරයේ යන්ත්‍රවලට හානි සිදුවීමේ සිට විදුලි බිල ඉහළ යාම් දක්වාම අවධානමක් විපක්ෂය විසින් මතු කර ඇත.

අදාළ නෞකා අටේ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතයෙන් සිදුකරන විදුලි ජනනය මගින් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවිය හැකි තක්සේරුගත සෘජු පාඩුව එමගින් වාර්තා කර ඇත්තේ මෙපරිද්දෙනි.

පළමු නෞකාවෙන් රුපියල් මිලියන 595.1 ක්, දෙවන නෞකාවෙන් රුපියල් මිලියන 288.5ක් සහ තුන් වන නෞකාවෙන් රුපියල් මිලියන 1,047.4ක් , සිව්වැනි නෞකාවෙන් රුපියල් මිලියන 865 ක් වශයෙන් සෘජු පාඩුවක් සිදුවන බවට ගණනය කර ඇත.

එමෙන්ම පස්වැනි නෞකාවෙන් රුපියල් මිලියන 1,144.2ක් , හය වැනි නෞකාවෙන් රුපියල් මිලියන 1,197.7ක් , 7වැනි නෞකාවෙන් රුපියල් මිලියන 974.9ක් සහ 8 වැනි නෞකාවෙන් රුපියල් මිලියන 1,559.3ක් වශයෙන් සෘජු පාඩුව තක්සේරු කර තිබේ.

මෙලෙස එම නෞකා අටේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරුවලින් සිදුකෙරෙන විදුලි උත්පාදනයේදී ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවෙතැයි ගණන් බලා ඇති සෘජු අලාභය රුපියල් මිලියන 7600කට අධිකය.

කෙසේවෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ ඊයේ (23) මාධ්‍ය වෙත පවසා තිබුණේ විපක්ෂයට හිතවත් අය විසින් ඉදිරිපත්කර තිබුණු ටෙන්ඩර අවලංගු වීම මත ඊට එරෙහිව නගන අදෝනාවක් බවයි.

”පාර්ලිමේන්තුවේදී පසුගියදා මේ පිළිබඳව විවාද කළා. ඒකෙදි අපි පැහැදිලිවම ඔප්පු කරලා පෙන්නුවා ඇමතිතුමා ඇතුළු ආණ්ඩුව මේ විපක්ෂය කියන ගල් අඟුරු වංචාවක් සිද්ධ වෙලා නැහැ. ඒක රටට ඉතාම වාසි සහගත තත්වයක් ඇතුළෙ මේක පවත්වාගෙන යන්න කටයුතු කරනවා. නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළෙ ටෙන්ඩරය බාරගත්ත කෙනාගෙ අතින් එයා බාරගත්ත කොන්ත්‍රාතුව ඉෂ්ට නොවිලා තියෙනවා නම් ඒකට අදාළව කටයුතු කරන්නත් රජය වගකීමක් බැඳිලා ඉන්නවා. අපි ඒ කටයුතු නිවැරදිව කරනවා. කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ. රජයට ඒ ගත්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළෙ ඒ වෙච්ච එකඟතාවලින් එයා බැහැර වෙච්ච නිසා රජය එයාට විරුද්ධව ලොකු දඩ මුදලක් ගහලා තියෙනවා. ඒ හැරුණුකොට වෙන කටයුත්තක් සිද්ධ වෙලා නැහැ. ඔබ දන්නවා, ලෝකෙ හැමතැනම ගල් අඟුරු නැහැ. ලෝකෙ හැමතැනම ගල් අඟුරු සපයන සමාගමුත් නැහැ. එතකොට ලංකාවේ ලියාපදිංචි වෙලා ඉන්න ගල් අඟුරු සමාගම් ගණනාවකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඇතුළෙ ගල් අඟුරු මිලදී ගැනීමට කටයුතු කරද්දී, ඔය ඒ කාලෙ හිටපු විපක්ෂයේ කට්ටිය ගල් අඟුරු ගෙන්වන්න බාරදීපු කට්ටියගේ ටෙන්ඩරය අවලංගු වෙලා තියෙනවා. ඒකෙ අඳෝනාව තමයි ඔය තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලො වැඩි මිලට තමයි ඒ කාලෙ ගල් අඟුරු ගෙනල්ලා තියෙන්නෙ. දැන් අලුත් කෙනාට රජය මේ ටෙන්ඩරය බාරදීලා තියෙන්නෙ ඉතාම අඩුම අඩු ටෙන්ඩරයකට. ඒ නිසා විශාල මුදලක් එතනින් ඉතුරු වෙනවා. මෙතනින් අඩුවක් වෙලා තියෙන තැන දඩ මුදලින් ඒක පියවෙනවා, කිසිදු පාඩුවක් රජයට වෙන්නෙ නැහැ. පරීක්ෂණ වාර්තාව ළඟදීම එයි. ඔය කෑගහපු කට්ටියත් පරීක්ෂණ කමිටුවේ ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ටම කියන්න සිද්ධ වෙයි තමන් කිව්වෙ බොරුවක් කියලා” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top