හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ සුරේෂ් සලේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සහ දේශපාලනික අභිප්‍රායන් මත ක්‍රියාත්මක වූ පුළුල් මෙහෙයුම් ජාලයකට සෘජුවම සම්බන්ධ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඊයේ (20) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැඩි ආන්දෝලනාත්මක චෝදනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප් පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ, විමර්ශන නිලධාරීන් විසින් ප්‍රංශයේදී අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත්, එය දැනට ක්‍රියාත්මක පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනවල විශාල හැරවුම් ලක්ෂ්‍යයක් බවත්ය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් ප්‍රංශය බලා ගොස්, එහි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී මවුලානාගේ මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දීර්ඝ විස්තර ඇතුළත් වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
මවුලානාගේ ප්‍රකාශය උපුටා දක්වමින් දිලිප් පීරිස් මහතා අධිකරණයට කියා සිටියේ, පාස්කු ප්‍රහාරය පිටුපස සිටි “මොළකරු” (Mastermind) ලෙස සුරේෂ් සලේ කටයුතු කර ඇති බව සහ මෙහෙයුම කිසියම් දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම සඳහා දියත් කර ඇති බවයි.
පැමිණිල්ල වැඩිදුරටත් චෝදනා කළේ, පාස්කු ප්‍රහාරයෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මඩකලපුව බන්ධනාගාරයට ගොස් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මුණගැසුණු බවයි. එහිදී, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී සතියක් ඇතුළත පිල්ලෙයාන් නිදහස් කරන බවට පොරොන්දු වී ඇති බවද කරුණු ඉදිරිපත් කෙරිණි.
පීරිස් මහතා වැඩිදුරටත් චෝදනා කළේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙන් පසු, බුද්ධි තොරතුරු අනෙකුත් ආයතන වෙත ගලායාම වැළැක්වීමේ අරමුණින්, යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ සලේව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා ලෙස පත් කළ බවයි.
2017 මාර්තු 10 වන දින අලියාර් හන්දියේ ඇති වූ ගැටුමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වන සයිනි ඇතුළු පිරිසට ඇප ලබා ගැනීම සඳහා යුද හමුදා බුද්ධි අංශයෙන් සහ පිල්ලෙයාන්ගෙන් මූල්‍ය ආධාර ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණුවලට අනුව, සුරේෂ් සලේගේ ඉල්ලීම පරිදි යුද හමුදා බුද්ධි අංශය විසින් රුපියල් 250,000 ක මහජන මුදල් ලබා දී ඇති අතර, පිල්ලෙයාන් විසින් රුපියල් 50,000 ක මුදලක් ලබා දී ඇත.
මැතිවරණයකට පෙර තොරතුරු රටට හෙළිවීම වැළැක්වීම සඳහා අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීමට මෙලෙස මහජන මුදල් අවභාවිත කර ඇති බවට පැමිණිල්ල චෝදනා කළේය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ, පිල්ලෙයාන්ගේ කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයන් සහ යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්ත පුද්ගලයන් කිහිපදෙනෙකු එක්ව දේශපාලන අරමුණු සහිත කොන්ත්‍රාත් මිනීමැරුම් සහ මෙහෙයුම් සිදුකර ඇති බවයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම, කීත් නොයාර්ට පහරදීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ උපාලි තෙන්නකෝන්ට පහරදීම ඇතුළු අපරාධ මෙම කණ්ඩායම විසින් සිදුකර ඇති බව අධිකරණයට දන්වන ලදී.
පිල්ලෙයාන්ගේ කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයන් 2,000 කට වැඩි පිරිසකට යුද හමුදා බුද්ධි අංශය හරහා වැටුප් ලැබී ඇති බවත්, නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන පුද්ගලයන්ගේ නීතිඥ ගාස්තු ගෙවීම සඳහාද මහජන මුදල් පාවිච්චි කර ඇති බවත් පීරිස් මහතා පැවසීය.
එසේම, පාස්කු ප්‍රහාරයෙන් පසු අසාද් මවුලානාගේ පවුලේ අය සුරේෂ් සලේ විසින් අහුන්ගල්ල ප්‍රදේශයේ හෝටලයකට මාරු කර ඇති බවත්, මවුලානාට තානාපති කාර්යාලයක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය. විමර්ශකයින් මේ සම්බන්ධයෙන් අදාළ හෝටල් වාර්තාද ලබාගෙන ඇති බව අධිකරණයට ප්‍රකාශ විය.
සුරේෂ් සාලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, මවුලානාගේ ප්‍රකාශය අධිකරණය හමුවේ හරස් ප්‍රශ්න ඇසීමකට ලක් කර අභියෝගයට ලක් කරන තෙක් එය සාක්ෂියක් ලෙස පිළිගත නොහැකි බව තර්ක කළේය.
සියලුම පාර්ශවයන්ගේ කරුණු ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව, සලේ අධිකරණයට ඉදිරිපත් කිරීමේ ඉල්ලීම් සහ 127 වගන්තිය යටතේ ප්‍රකාශයක් කිරීමට ඔහු කළ ඉල්ලීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වන තීන්දු ලබන ජූලි 1 වැනිදා ප්‍රකාශ කරන බව මහේස්ත්‍රාත්වරයා නිවේදනය කළේය.






