මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ කරදිය බාධකය ඉදිකිරීමේදී සිදුවූ වගා හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ප්‍රදානය කිරීම සඳහා අද (27) මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට මාධ්‍යවේදීන්ට ඇතුළුවීම වළක්වා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, නිල්වලා ගඟ කරදිය බාධකය ඉදිකිරීමේ කාලසීමාව තුළ ඇතිවූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් වගා හානි සිදුවූ ගොවීන් 4,950 දෙනෙකුට කන්න හතක් සඳහා රුපියල් මිලියන 1,200ක වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදියර සංකේතාත්මකව ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, උත්සවය ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ ඇතුළුවීමට අවසර නොදුන් බවට මාධ්‍යවේදී වජිර පූජිත ගුණවර්ධන මහතා පවසයි.
මෙම තීරණය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාවක් බව පවසමින් මාධ්‍යවේදීන් එම ස්ථානයේදී සිය විරෝධය සහ කණගාටුව පළ කළ බව ද ඔහු කියයි.
මාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ, මහජන මුදල් යොදා ගනිමින් ක්‍රියාත්මක වන වන්දි ප්‍රදාන වැඩසටහන් සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම සඳහා මාධ්‍යට නිදහසේ වාර්තාකරණය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.
මානෙල් රිචඩ්






