විදෙස් ණය ගෙවිමකදී මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මහබැංකුව ද වගකිව යුතු බව මුදල් අමාත්‍යංශ වාර්තාව මගින් පෙන්වා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ එම අස්ථානගත වූ මුදල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව පසුගිය (08) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදීය.
එම සාකච්ඡාව සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද කැඳවා තිබුණි.
එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කර ඇති වාර්තාව පිළිබදව අවධානය යොමුව ඇත.
ඒ සම්බන්ධයෙන් මහබැංකුවේ ස්ථාවරය පිළිබදව දැනුම්දීම සඳහා සතියක කාලයක් ලබාදී තිබේ.
ඒ අනුව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ලෙස හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ,
“අද මහබැංකුවෙයි භාණ්ඩාගාරයෙයි ප්‍රධානීන්, අධිපතිතුමායි ලේකම්තුමායි අදාළ සියලුම නිලධාරීන් අපේ කමිටුවට වාර්තා කළා. ඒ කරලා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කරපු ඒ වාර්තාව අපි ඔවුන් සමග සාකච්ඡා කළා. සාකච්ඡා කළාම ඒකෙ තවත් ගැටලු රාශියක් මතුවුණා. ඇත්ත වශයෙන්ම මෙයට වගකිවයුතු පුද්ගලයින් කවුද කියන එක පිළිබඳව මත දෙකක් ඉදිරිපත් වුණා. එකක් තමයි මහබැංකුව සැලකියයුතු වගකීමක් මෙහි දැරිය යුතුයි කියන කාරණාව වාර්තාවේ තිබුණා. මහබැංකුව ඒ සම්බන්ධයෙන් වෙන මතයක් දරණ බව අපිට ඉදිරිපත් කළා. ඔවුන්ට වාර්තාව ලැබිලා නොතිබුණු නිසා අපි අද ඔවුන්ට ඒ වාර්තාව දුන්නා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ පිළිතුරු වාර්තාවක් තව සතියකින් අපට දෙන්න ඔවුන් පොරොන්දු වුණා. ඒ වාර්තාව ලැබුණාම එන සතියේ අපිට නැවතත් සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා මේ වාර්තා දෙක අතර පරස්පරයන් තියෙනවාද, කොහොමද අපි ඒවා නිරාකරණය කරගන්නෙ කියලා. නමුත් එක දෙයක් මෙතන පැහැදිලි වෙනවා, ඒ තමයි මේ ක්‍රියාපටිපාටි පිළිබඳව විශාල ගැටලුවක් මතුවෙලා තියෙනවා. මම සරලව කියන්නම්, අවුලක් වෙලා තියෙනවා කියලා දැනගත්තාම මේක මුදල් විශුද්ධිකරණ සිද්ධියක් වෙයිදෝ කියන සැකය මත මහබැංකුව මුදල් අමාත්‍යාංශයට දන්වලා තියෙනවා, නමුත් එහෙම දැනුම් දුන්නාම ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව මතුවෙලා තියෙන්නෙ. මේක ඔවුන්ගෙ ඉහළ නිලධාරීන් දැනුවත් කළාද, නැද්ද, දැනුවත් කරේ නැත්නම් ඇයි දැනුවත් කරේ නැත්තෙ කියන එක සම්බන්ධව ඔවුන් අපිට කිව්වා සීඅයිඩී එක සහ පොලීසිය දැන් පරීක්ෂණ කරනවා ෆොරන්සික් ඔඩිට් කරනවා කියලා. නමුත් සිස්ටම් එකක් තිබුණා නම් කවුරුත් දන්නවා කාටද මොන වගකීමද තියෙන්නෙ කියලා. එතකොට මේක ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් තල්ලු කරන්න හැකියාවක් නෑ. අනිත් එක තමයි මේ ඊමේල් හරහා වෙච්ච ගනුදෙනුවලින් තමයි මේ වැඩේ වෙලා තියෙන්නෙ, ඒක කල්ගිය ඊමේල් සර්වර් එකක් කියලා. කල්ගිය ඊමේල් සර්වර් එකක් දැන් අවුරුදු පහක් විතර පාවිච්චි කරලා තියෙනවා. 2023 ඉඳලා CERT ආයතනය විසින් ඔවුන්ට ඉදිරිපත් කරලා තියෙනවා මේක අප්ඩේට් කරන්න ඕනෙ, අලුත් එකක් ගන්න ඕනෙ කියලා. නමුත් එදා ඉඳන් 2024, 25 දැන් 26 තාම ඒ දේ කරලා නෑ. සයිබර් සිකියුරිටි මෙච්චර තියෙන කාලෙක කොහොමද ප්‍රධානම රජයේ ආයතනයක් කිසිම සපෝට් එකක් නැති ඊමේල් සර්වර් එකක් පාවිච්චි කරන්නෙ කියන ගැටලුවත් මතුවුණා.
අපි කමිටුව හැටියට ගැඹුරින් මේවා සාකච්ඡා කළා. අපි මහබැංකු වාර්තාව ආවාම ඒ වාර්තාවත්, අපේ කමිටු වාර්තාවත්, මුදල් අමාත්‍යාංශයේ වාර්තාවත් කියන තුනම දින කිහිපයකින් මහජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන්න තීරණය කරලා තියෙනවා” යනුවෙනි.





