පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා පවසන්නේ, සුලේෂ් සලේ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව කොමිෂන් සභාව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සුරේෂ් සලේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර ඔහු රඳවා සිටි කුටිය ආසන්නයේ සිටින තවත් සැකකරුවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.
ඊට අමතරව ඊයේ (08) දිනයේ ද සුරේෂ් සලේ පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙතද ගොස් තිබේ.
එමෙන්ම ඊයේ (08) දිනයේදී සුරේෂ් සලේට සහය පළකරමින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ද ආරම්භ කර ඇත.
රැඳවුම්භාරයේ සිටින සුරේශ සලේ ජලය සහ අහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ අසනීප තත්ත්වය මත පසුගිය 07 වැනිදා රාත්‍රියේ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණු අතර තවදුරටත් ඔහු එහි ප්‍රතිකාර ගනිමින් පසුවෙයි.





