/ Jun 10, 2026

ජාතික රෝහල් දෙකකම පිළිකා විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම අඩාල වෙලා!

ගාල්ල ජාතික රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මෙම රෝහල් දෙකෙහි පිළිකා රෝගයන්ගේ විකිරණ ප්‍රතිකාර සිදුකරනු ලබන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර දෙක බිඳවැටීම සිදුවී ඇති අතර ජුනි 04 වෙනිදා මඩකලපුව රෝහලේ යන්ත්‍රයත්, ජුනි 05 දා ගාල්ල ජාතික රෝහලේ යන්ත්‍රයත් බිඳ වැටීම සිදුවී ඇත.

යන්ත්‍රය බිඳවැටීම නැවත යථා තත්ත්වයට පත් නොවීමට හේතුව වශයෙන් මේ වන විට හෙළිදරව් වී ඇත්තේ සේවා සපයන සමාගම නඩත්තුවට අදාල සේවා ගිවිසුම් නොමැතිවීම හේතුවෙන් යන්ත්‍රයෙහි නඩත්තුවෙන් ඉවත්වීම තිබීමයි. පසුගිය කාලය පුරා අවස්ථා ගණනාවකදීම මෙම යන්ත්‍ර දෙක වරින් වර විඳවැටුණු අතර නැවත යථා තත්ත්වයට පත් කිරීම කාලයක් තිස්සේ ප්‍රමාද කරමින් පැවතිණි. මේ හේතුව නිසා අඛණ්ඩව ලබාදිය යුතු රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සේවාව අතරමගදී බිඳ වැටීම සිදුවී ඇත. මෙය පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල විනාශ කිරීමේ ප්‍රතිකාරයට බරපතළ ආකාරයෙන් බාධා පමුණුවයි.

යන්ත්‍ර බිඳ වැටෙනවිට මඩකලපුව රෝහලේ දිනකට රෝගීන් 60 ට ආසන්න ප්‍රමාණයකගේ දෛනික ප්‍රතිකාර සිදු කළ අතර, ගාල්ල ජාතික රෝහලේ දිනකට රෝගීන් 80 – 90 අතර ප්‍රමාණයක ප්‍රතිකාර කටයුතු සිදුකෙරෙමින් පැවතුණි. මේ වන විට ගාල්ල ජාතික රෝහලේ මාස 5ට ආසන්න පොරොත්තු ලේඛනයක් විකිරණ ප්‍රතිකාර සේවාව ලබා ගැනීම සඳහා පවතී.

මෙම ලීනියර් ඇක්සලරේට යන්ත්‍රවල සේවා ගිවිසුම් ගතවීමේ ක්‍රියාවලියට අදාළව ලංසු ඇගයීමේ කමිටුව ( Bid Evaluation Committee) සඳහා මේ යන්ත්‍රයේ විකිරණ ප්‍රතිකාර සේවාව සිදුකරනු ලබන විකිරණ තාක්ෂණවේදී නිලධාරීන් සම්බන්ධ කර නොගැනීම බරපතල ගැටලුවක් වන අතර සෞඛ්‍ය ලේකම්වරුන් විසින් ලබා දී ඇති නියෝග පැහැර හැරීමක් ද වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරුන් විසින් අවස්ථා තුනකදී මෙවැනි ලංසු ඇගයීම් කමිටු සඳහා යන්ත්‍රවල අවසාන භාවිතාකරුවන විකිරණ තාක්ෂණවේදීන් සම්බන්ධ කර ගත යුතු බව චක්‍රලේඛ මගින් උපදෙස් ලබා දී ඇතත් ජීව වෛද්‍යය ඉංජිනේරු ඒකකය විසින් මෙම නියෝග පැහැර හැර ඇත. මෙලෙස යන්ත්‍රය සහ ඊට අදාළ සේවා කටයුතු සම්බන්ධයෙන් දැනුවත් නිලධාරීන්ව මගහැර සේවා ගිවිසුම් ගතවීමට අදාළ කටයුතු සිදුකිරීම බරපතළ සැකයක් ගෙන දෙන කාරණාවක් වී ඇත.කෙසේ වෙතත් මේ වනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ සේවා ගිවිසුම් ගතවීම නිසි පරිදි සිදු කර නොමැති අතර මෙම හේතුව නිසා දිගින් දිගටම බිඳ වැටෙන යන්ත්‍ර නැවත යථා තත්ත්වයට පත්වීම ප්‍රමාද කරමින් තිබේ.

මීට අමතරව මහරගම අපේක්ෂා රෝහලෙහි නව සීටී සිමියුලේශන් යන්ත්‍රයෙහි ස්ථාපන කටයුතු තවමත් අවසන් නොවීම හේතුවෙන් රෝගීන් 600 කට ආසන්න ප්‍රමාණයක් පිළිකා විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි.

මේ ආකාරයෙන් දිගින් දිගටම යන්ත්‍ර බිඳවැටීම් නිසි පරිදි යාවත්කාලීන නොවීම හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර සේවා බරපතල ආකාරයෙන් බිඳවැටීමකට ලක්වන අතර එම යන්ත්‍ර නැවත යථා තත්ත්වයට පත්වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම මෙම වගකීම් පැහැර හරින සහ මෙම කටයුතුවලදී අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගත යුතු වගකිවයුතු පාර්ශවයන් මගහැරීම සම්බන්ධයෙන්ද නිසි විමර්ශනයක් සිදු කරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top