කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝග ව්‍යාප්තියේ දැඩි අවදානමක් මතුව ඇති බැවින් එය පාලනය කිරීමේ අරමුණින් ජුනි මස 15 වන දින සිට 21 වන දින දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (12) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුවේදී මේ බව තීරණය කෙරිණි.
ගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වාර්තා අනුව, මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 39,100ක් පමණ වන සංඛ්‍යාවෙන් 25.8%ක්ම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මෙම තත්ත්වය මත කොළඹ දිස්ත්‍රික්කය ‘අධි අවදානම්’ දිස්ත්‍රික්කයක් ලෙස නම් කර ඇත.
රෝග ව්‍යාප්තිය ඉහළ යාමට, වෛරසයේ ස්වභාවය මෙන්ම, ඊට එරෙහිව ජනතාව තුළ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රමාණවත් පරිදි වර්ධනය වීමට කාලයක් නොලැබීම බලපා ඇති බවද මෙහිදී හෙළි විය. විශේෂයෙන්ම, පසුගිය කාලයේ පැවැති අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය නැවත වරක් උග්‍ර වී ඇති බව සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දුන්නේය.
මෙවර ඩෙංගු ව්‍යාප්තිය, නිවාසවලට වඩා වැඩි වශයෙන් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල් සහ ආගමික ස්ථාන වැනි පොදු ස්ථානවලින් වාර්තා වන බව විශේෂයෙන් හඳුනාගෙන තිබේ. කාර්යාල සහ පොදු ස්ථානවල ඉවත් කරන ඝන අපද්‍රව්‍ය සහ කානු පද්ධති හරහා මදුරුවන් බෝවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව නිරීක්ෂණවලදී සොයාගෙන ඇත.
ඒ අනුව ජුනි 15 සිට 21 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ රාජ්‍ය, පෞද්ගලික ආයතන, පාසල් සහ නිවාස ඇතුළු පරිසරය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අධි අවදානම් නිවාස පරීක්ෂාවට ලක් කිරීම සහ දැනුවත් කිරීමෙන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, අත්පත්‍රිකා බෙදාහැරීම, බැනර් ප්‍රදර්ශනය සහ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා 10 ශ්‍රේණියට පහළ සිසුන් යොදා නොගැනීම සහ ශිෂ්‍යයෙකුට රෝගය වැළඳී ඇත්නම් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම් දීම කරන ලෙස මෙහිදී සෞඛ්‍ය අංශ පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, සර්ව ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන්, පළාත් පාලන ආයතන, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම පොදු මහජනතාවගේ විශේෂ දායකත්වයක් අපේක්ෂා කෙරේ.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයින්, ලේකම්වරුන්, පොලිස් නිලධාරීන් සහ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.






