/ Jun 27, 2026

ගිං ගඟේ පා වුණ මළ සිරුර : පොලිස් භාරයේ සිටි අයෙකුගේ යැයි චෝදනා!

පසුගිය ජූනි 24 වනදා ගිං ගඟ වක්වැල්ල පාලම අසල කොන්ක්‍රීට් කණුවක ගැට ගසා පාවෙමින් තිබු මළ සිරුර විරාජ් රශ්මික නමැති අයෙකුගේ බවත් ඔහුගේ මරණය සිදුව ඇත්තේ පොලිස් භාරයේ සිටියදී බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

එසේ ම මෙම පුද්ගලයා බද්දේගම පොලිස් අත්අඩංගුවේ සිටි විභග දිනෙත් ජයසිංහ යන අය විසින් දැක ඇති බව පවසන එම කමිටුව, ඔහු ඇසින් දුටු එකම සාක්ෂිකරු බැවින් ඔහුට ආරක්ෂාව සපයන ලෙසත් පොලිස්පති සහ මානව හිමිකම් කොමිසමට හදිසි පැමිණිල්ලක් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනය

පොලිස් අත් අඩංගුවේ සිටියදී මියගිය විරාජ් රශ්මික සම්බන්ධව කඩිනම් පරික්ෂණයක් කරන්න ඇසින් දුටු එකම සාක්ෂිකරු ආරක්ෂා කරන්න – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් පොලිස්පතිට සහ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමට හදිසි පැමිණිල්ලක්.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ මාධ්‍ය නිවේදනය පහතින්,

පසුගිය ජූනි 24 වනදා ගිං ගඟ වක්වැල්ල පාලම අසල කොන්ක්‍රීට් කණුවක ගැට ගසා තිබූ මළ සිරුර විරාජ් රශ්මික නැමැති පුද්ගලයෙකුගේ වන අතර ඔහු ඊට දින හතරකට පෙර ගාල්ල අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකි.

අදාළ අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණේ පසුගිය ජූනි මස 20 වනදා වන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුව අදාල පුද්ගලයා බද්දේගම පොලීසිය වෙත රැගෙනවිත් ඇති අතර ඒ බව ඒ වන විට බද්දේගම පොලිස් අත්අඩංගුවේ සිටි විභග දිනෙත් ජයසිංහ විසින් දැක ඇත.

පසුව විභග දිනෙත් ජයසිංහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති අතර පසුගිය ජූනි 24 වනදා මෙසේ බද්දේගම පොලීසියේ සිටි විරාජ් රශ්මිකගේ මළ සිරුර සොයාගෙන ඇත.‍ෙ

ඒ අනුව මේ මූලික කරුණ සඳහන් කරමින් අදාළ පැමිණිලි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් යොමු කර ඇති අතර මේ පිළිබඳව වහාම විධිමත් සාධාරණ පරීක්ෂණයක් කරන ලෙසත්, මරණකරු පොලිස් භාරයේ සිටිනු ඇසින් දුටු එකම සාක්ෂිකරුගේ ජීවිතය ආරක්ෂා කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසත් අදාළ පැමිණිලි වලින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා ඇත.

රසික ගුණවර්ධන,
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top