/ Jun 26, 2026

මත්ද්‍රව්‍ය මැඩලීම:ජාතික මෙහෙයුම් කාර්යාලය විවෘත වෙයි!

මත්ද්‍රව්‍යවලට එරෙහි ජාතික මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ජාතික මෙහෙයුම් කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය ඉවහල් වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (26) කොළඹදී පැවති “රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීම සඳහා භාවිත වන 1818 ක්ෂණික දුරකථන අංකය ඉදිරියේදී මෙම මාධ්‍ය මධ්‍යස්ථානය ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

දශක ගණනාවක් තිස්සේ ව්‍යාප්ත වූ මත්ද්‍රව්‍ය උවදුර එක්වරම සමාජයෙන් තුරන් කළ නොහැකි වුවද, එය මැඩපැවැත්වීම සඳහා අඛණ්ඩ හා සැලසුම්සහගත ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

අතීතයේ දේශපාලන සබඳතා හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වූ බවත්, මේ වන විට එවැනි බලපෑම් ඉවත් කර නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නිදහසේ රාජකාරි කිරීමට අවස්ථාව සලසා දී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා විවෘත කළ නව මාධ්‍ය මධ්‍යස්ථානය මාධ්‍ය සම්බන්ධීකරණයට පමණක් නොව, ජනතාවට සෘජුවම තොරතුරු ලබාදිය හැකි මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top