/ Nov 19, 2026

APEC නායක හමුවට පෙර ජනාධිපති ට්‍රම්ප්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

චීනය සහ රුසියාව සමඟ න්‍යෂ්ටික අවි අඩු කර ගැනීම සඳහා වන ගිවිසුමකට එළඹීම තමන් සාදරයෙන් පිළිගන්නා බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එමෙන්ම, චීනය වෙත සිදු කෙරෙන උසස් තාක්ෂණික අර්ධ සන්නායක (semiconductor) අපනයන මත පනවා ඇති සීමා කිරීම් ඉදිරි වසර කිහිපය තුළ ලිහිල් කිරීමට ඉඩ ඇති බව ද ඔහු ඉඟි කළේය.

මෙම නායකයින් දෙදෙනා සමඟ පැවැත්වීමට නියමිත හමුවීම්වලට පෙර ‘ෆොක්ස් නිව්ස්’ (Fox News) වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළේ, එක්සත් ජනපදය සතුව න්‍යෂ්ටික අවි 4,000ක් පමණ ඇති බවත්, රුසියාව සතුව 3,800ක් ද, චීනය සතුව 400 සිට 500ක් දක්වා ප්‍රමාණයක් ද ඇති බවයි.

“ඔබට 4,000ක් අවශ්‍ය නැහැ, නමුත් එය සිදු කිරීම අපහසු කාර්යයක්,” යැයි ට්‍රම්ප් පැවසීය.

මෙම රටවල් තුනෙහිම න්‍යෂ්ටික පරීක්ෂාවන් සිදු කිරීමට තමන් සහාය පළ කරන්නේ දැයි විමසූ විට, ඔහු පිළිතුරු දුන්නේ “මම හිතන්නේ එය කමක් නැහැ,” යනුවෙනි.

එමෙන්ම, ‘Nvidia’ සමාගමේ උසස් ‘Blackwell’ චිප්ස් චීනයට අපනයනය කිරීම මත පනවා ඇති සීමා කිරීම් සාධාරණීකරණය කළ ට්‍රම්ප්, වසර දෙකකින් හෝ තුනකින් එම සීමා ඉවත් කිරීමට ඉඩ ඇති බවද ඉඟි කළේය.

කෘත්‍රිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ එක්සත් ජනපදය චීනයට වඩා ඉදිරියෙන් සිටින බව පැවසූ ඔහු, “සුපිරි බුද්ධිය (superintelligence) ජය ගන්නා පාර්ශවය, සමස්ත තරඟයම ජය ගනු ඇත,” යැයි ද සඳහන් කළේය.

චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පවතින සබඳතාව මිත්‍රත්වය සහ ගෞරවය මත ගොඩනැගී ඇති බව විස්තර කළ ජනාධිපති ට්‍රම්ප්, දෙරටම එකිනෙකා පිළිබඳ ඔත්තු බැලීම් සිදු කරන බව පිළිගත්තේය. “අපි චීනය ගැන ඔත්තු බලනවා, ඔවුන් අප ගැන ඔත්තු බලනවා,” යැයි ඔහු පැවසීය.

චීනය සහ රුසියාව ඉරානය සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කර ගන්නා බවට පළ වූ වාර්තා ද ට්‍රම්ප් සුළු කොට සලකා තිබේ. ඉරානය සම්බන්ධ ගැටුම අවසන් කිරීමට ඔවුන්ගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ දැයි විමසූ විට, ඔහු පිළිතුරු දුන්නේ “අපට කිසිදු සහායක් අවශ්‍ය නැහැ,” යනුවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top