ඊයේ (28) දිනය වනවිට ගතවූ ජූනි මාසය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී ඇති අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මධ්‍යයේ රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත් තීව්‍ර වෙමින් තිබෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.
ඒ අනුව වසරේ 25 වන සතිය වනවිට දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙසින් නම්කර තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ දිනය දක්වා දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53,159කි.
ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 31කි.
වසරේ ගෙවුණු මුල් මාස 05 තුළම මාසිකව ඩෙංගු රෝගීන් වාර්තාවීම දස දහසට අඩු මට්ටමක පැවතියද, ජුනි මාසයේ ගෙවීගිය දින 28 තුළ පමණක් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී තිබේ.
වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ පළාත ලෙස බස්නාහිර පළාතෙන් රෝගීන් 27,833ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතාත්මකව 52.36%කි.
පවතින තත්ත්වය මධ්‍යයේ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවීම වැළැක්වීමට සහ මදුරු කීටයින්, පිලවුන් විනාශ කිරීමට අවට පරිසරය පිරිසිදු කිරීම පිළිබඳ දැඩි අවදානය යොමුකරන ලෙස සෞඛ්‍ය බලධාරින් ජනතාවට දැනුම්දෙයි.






