( රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීම සිදු කරන බවට ඇතිව ඇති සාකච්ඡාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් විජේසූරිය විසින් ඊයේ (03) නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමේදී සිදු කරන ලද සම්පූර්ණ කතාවේ පරිවර්තනයකි.)
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ගෙන ඒමට සාකච්ඡා වෙමින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින්, 2026 මැයි 25 වන දින අතිගරු ජනාධිපතිතුමා වෙත අප විසින් යොමු කළ ලිපියේ දක්වා ඇති අපගේ ස්ථාවරය (එහි පිටපතක් දැන් ඔබ සැම සතුව ඇති බව මා සිතනවා) වඩාත් පුළුල්ව විස්තර කිරීම සහ පැහැදිලි කිරීම සඳහායි මෙය සංවිධානය කර තිබෙන්නේ.
මෙම ලිපිය මගින්, සාකච්ඡාවට බඳුන් වී ඇති කිසිදු යෝජිත සංශෝධනයක් ඉදිරියට ගෙන නොයන ලෙස අප අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් ඉල්ලා තිබෙනවා. ආරම්භයේදීම, මින් අනතුරුව අදහස් දැක්වීමට නියමිත, නීතීඥ සංගමය ගෙන ඇති ස්ථාවරයේ සංකල්පීය සහ ප්‍රායෝගික පදනම පැහැදිලි කරන අපගේ සම්භාවනීය කථිකයන්ට මාගේ අවංක ප්‍රණාමය පුද කළ යුතුයි. එසේම, මෙම සෙනසුරාදා උදෑසන මෙහි පැමිණීමට ඔබේ කාලය මිඩංගු කිරීම ගැන ඔබ සැමට මම ස්තූතිවන්ත වෙනවා. ඔබගේ පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ අප සියලු දෙනාම මෙහි සාකච්ඡා කිරීමට රැස්ව සිටින ගැටලුවේ ඇති වැදගත්කමයි.
ආරම්භයේදීම, එක් කරුණක් ඉතා පැහැදිලිව ප්‍රකාශ කිරීමට මට ඉඩ දෙන්න. මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ස්ථාවරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත මූලධර්මයක් මත පදනම් වූවක්. එය කිසිදු තනි විනිසුරුවරයෙකුට එරෙහිව එල්ල වූවක් නොවෙයි. එය කිසිදු දේශපාලන පක්ෂයකට හෝ රජයකට එරෙහිව එල්ල වූවක් ද නොවෙයි. එසේම එය වර්තමානයේ අධිකරණ ධුර දරන්නේ කවුරුන්ද යන්න මත පදනම් වූවක් ද නොවෙයි.
රජයන් වෙනස් වන බවත්, විනිසුරුවරුන් විශ්‍රාම යන බවත්, දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට බලයට පත්වන බවත් අප කවුරුත් දන්නවා. කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත මූලධර්ම නොවෙනස්ව පැවතිය යුතුයි, අප සියලු දෙනාම අද මෙහි රැස්ව සිටින්නේ ඒ නිසයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමය එහි ඉතිහාසය පුරාම නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සිය ඉහළම අරමුණු සහ වගකීම් අතරින් එකක් ලෙස සලකා තිබෙනවා. බලයේ සිටින රජය කුමක් වුවත්, එම වටිනාකම්වලට අභියෝගයක් එල්ල වන බව පෙනෙන ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් කතා කිරීම සහ පෙනී සිටීම නීතීඥ සංගමය සිය යුතුකමක් ලෙස සලකා තිබෙනවා. අප අඛණ්ඩව එසේ කර ඇත්තේ, එය සැමවිටම ජනප්‍රිය දෙයක් වන නිසා නොව, එය අත්‍යවශ්‍ය සහ තීරණාත්මක දෙයක් වන නිසයි.
2026 මැයි 25 වන දින අතිගරු ජනාධිපතිතුමා වෙත අප යැවූ ලිපියෙන් අප මුලින්ම ප්‍රකාශ කළ නීතීඥ සංගමයේ ස්ථාවරය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා අප අද රැස්ව සිටින්නේ එම පසුබිම තුළයි. මා පෙර සඳහන් කළ පරිදි ඔබ සැම සතුව මේ වන විට එම ලිපියේ පිටපතක් තිබෙනවා. මෙම සංසදය ආරම්භයේදී ප්‍රයෝජනවත් වේ යැයි මා සිතන, අප එම ලිපියේ සඳහන් කර ඇති කරුණු කිහිපයක් වෙත ඔබේ අවධානය යොමු කිරීමට මා කැමතියි.
මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා රජය විසින් සංශෝධනයක් හඳුන්වා දීමට සලකා බලමින් සිටින බවට ප්‍රසිද්ධියේ පළවන වාර්තා පිළිබඳව අප දැඩි අවධානයෙන් යුතුව සටහන් කරගෙන තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවත්, එවැනි වෙනසක් කිසිසේත්ම අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සුපරික්ෂාකාරී මතය බව අප ප්‍රකාශ කර තිබෙනවා.
එසේ කිරීම තුළින් නීති පද්ධතියේ අවංකභාවය මෙන්ම, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට හා ආරක්ෂා කිරීමට රජයට ඇති කැපවීම කෙරෙහි වන මහජන විශ්වාසය නැති වී යාමට හේතු වනු ඇති බවත් අප එහි සඳහන් කර තිබෙනවා. ඒ වගේම, හුදෙක් මෙම අරමුණ සඳහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම සම්බන්ධයෙන් රජයේ යටි අරමුණු පිළිබඳව මහජනතාව ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවද අප පවසා තිබෙනවා.
2020 දී, එනම් 2020 ඔක්තෝබර් 29 වන දින ගෙන ආ 20 වන සංශෝධනය හරහා අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඇතුළුව අභියාචනාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත්, අගවිනිසුරුවරයා ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාත් වැඩි කළ බවටද අපගේ අවධානය යොමු කර තිබෙනවා. එවැනි වර්ධනයක් සමඟ, රාජකාරිමය වශයෙන් ගත් කල මෙම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබිය නොහැකි බව අප පෙන්වා දී තිබෙනවා. අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් මේ වන විටත් යම් කාලයක් තිස්සේ නොපිරී පැවතීම යන මීට සමාන්තර ගැටලුවකටද අප මේ වන විට මුහුණ දී සිටිනවා.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ වසර ගණනාවක් පුරාවට, සමහර විට බලයේ සිටින රජයේ දේශපාලන අවශ්‍යතා සපුරාලීම සඳහා සහ බොහෝ විට නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ සමස්ත අධිකරණයේම යහපතට පටහැනි වන අයුරින් ගෙන ආ හදිසි හා තාවකාලික (ad-hoc) සංශෝධන අප දැක ඇති බවටද අප අතිගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ අවධානය යොමු කර තිබෙනවා.
අපගේ මෙම සන්නිවේදනය තුළින්, මෙම සංශෝධනය අධිකරණයට ඇඟිලි ගැසීමේ අමු උත්සාහයක් ලෙස මහජනතාව විසින් දකිනු ඇති බවත්, එවැනි හදිසි පියවරක් මෙම අධිකරණ දෙකෙහි දැනට සේවය කරන ගෞරවනීය විනිසුරුවරුන්ට ද කරන නිගාවක් වනු ඇතැයි අප විශ්වාස කරන බවත් ප්‍රකාශ කර තිබෙනවා. රජය මෙවැනි පියවරක් ඉදිරියට ගෙන ගියහොත්, එය අධිකරණයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත්තනෝමතික සංශෝධන හඳුන්වා දීමට අනාගත රජයන්ට භයානක පූර්වාදර්ශයක් සපයනු ඇති බවද අප පවසා තිබෙනවා.
අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ කෙරෙහි තබා ඇති මහජන විශ්වාසය යනු නීතියේ ආධිපත්‍යයේ සහ අපගේ ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ අත්‍යවශ්‍ය කුළුණු දෙකක්. අප සෑම කෙනෙකුම එම ප්‍රකාශය සමග එකඟ වන බව මට විශ්වාසයි. නීතීඥ සංගමය ක්‍රියාත්මක වී මෙම යෝජිත සංශෝධනය සහ වෙනස ඉදිරියට ගෙන නොයන ලෙස අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින්නේ අන්න ඒ පසුබිම මතයි.
නෝනාවරුනි, මහත්වරුනි, අද දින සාකච්ඡාව ගෙතී ඇත්තේ නීතීඥ සංගමයේ මෙම ප්‍රකාශිත ස්ථාවරය වටා වන අතර, එය මෙම අතිශය වැදගත් කරුණ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සහ සම්මුතියක් ඇති කිරීමේ උත්සාහයක්. අප ඉදිරියේ ඇති ප්‍රශ්නය හුදෙක් ගෞරවනීය විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65, 67 හෝ 70 විය යුතුද යන්න පමණක් නොවෙයි. සාධාරණ පුද්ගලයන් එම ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනස් අදහස් දැරිය හැකියි. නමුත් වඩාත් මූලික ප්‍රශ්නය වන්නේ, මේ වන විටත් ධුර දරන සහ සේවය කරන විනිසුරුවරුන්ගේ ධුර කාලය පාලනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත විධිවිධාන වෙනස් කළ යුතුද යන්න සහ එවැනි වෙනසක් අධිකරණයේ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට කිනම් බලපෑමක් ඇති කළ හැකිද යන්නයි.
ජාතියක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය තුළ රාජ්‍ය ආයතන පරීක්ෂාවට ලක්වන අවස්ථා බොහෝමයක් තිබෙන අතර ශ්‍රී ලංකාව එවැනි අවස්ථා රැසක් අත්විඳ තිබෙනවා. විධායකය කෙරෙහි ඇති මහජන විශ්වාසය ප්‍රශ්න කළ කාලපරිච්ඡේදයන් තිබුණා. ව්‍යවස්ථාදායකය කෙරෙහි ඇති විශ්වාසය පරීක්ෂාවට ලක් වූ කාලපරිච්ඡේද ද තිබුණා. එහෙත් එම දුෂ්කර වසර ගණනාව පුරාවටම එක් ආයතනයක් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වුණා, ඒ තමයි අධිකරණය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සීමාවන් අවිනිශ්චිත වන විට, පුද්ගල අයිතිවාසිකම්වලට ආරක්ෂාව අවශ්‍ය වූ විට සහ වෙනත් සෑම විකල්පයක්ම අවසන් වී ඇතැයි පුරවැසියන් විශ්වාස කළ විට, ඔවුන් දිගටම අධිකරණය දෙස බලා ඉන් සහනයක් අපේක්ෂා කළා.
එම විශ්වාසය එක රැයකින් ඇති වූවක් නොවන බව සැලකීම වැදගත්. එය විනිසුරුවරුන්ගේ අවංකභාවය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත මූලධර්මවලට අනුකූල වීම සහ නීතියට අනුව යුක්තිය පසිඳලීමට අධිකරණය දක්වන නොසැලෙන කැපවීම තුළින් දශක ගණනාවක් පුරා උපයා ගත් දෙයක්. මෙවැනි ආකාරයේ මහජන විශ්වාසයක් යනු අධිකරණයේ ඇති විශිෂ්ටතම ශක්තියක්. එබැවින් එය ඉතා සැලකිල්ලෙන් යුතුව ආරක්ෂා කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වය යනු හුදෙක් ව්‍යවස්ථාපිත න්‍යායක් පමණක් නොවෙයි. එය සෑම පුරවැසියෙකුටම සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය රඳා පවතින පදනමයි.
ජනතාව අධිකරණ නියෝගවලට කීකරු වන්නේ, අධිකරණය ස්වාධීන, අපක්ෂපාතී සහ බාහිර බලපෑම්වලින් තොර බව ඔවුන් විශ්වාස කරන නිසයි. එමෙන්ම එය සත්‍ය වශයෙන්ම පැවතීම පමණක් නොව, මහජනතාවගේ අවබෝධය තුළද පැවතිය යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි ආකාරයට ව්‍යවස්ථාපිත විධිවිධාන වෙනස් කිරීමේ ස්වභාවයක් වුවද දැඩි අවධානයකට ලක්විය යුත්තේ එබැවිනි.
එබැවින් මෙම ගැටලුව තනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා විශාල එකක්. එය ජනරජයක වැදගත්ම ආයතනය කෙරෙහි මහජනතාව තබන විශ්වාසය සම්බන්ධ කාරණයක්. අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල වන බව පෙනී ගිය සෑම අවස්ථාවකදීම, එහි ප්‍රතිවිපාක අධිකරණයෙන් ඔබ්බට බොහෝ දුරකට විහිදී ගොස් ඇති බව ඉතිහාසය අපට මතක් කර දෙනවා.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර අවස්ථාවලදීද අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කරන ක්‍රියාවලට එරෙහිව දැඩිව අදහස් දක්වා තිබෙනවා. එදින පැවති දේශපාලන තත්ත්වයන් කුමක් වුවත් අප එසේ කර තිබෙනවා. අද දින අපගේ ස්ථාවරයද පැන නගින්නේ එම කැපවීම මතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අපේක්ෂා කරන්නේ ස්ථාවරත්වයක් සැපයීමයි. ඒවා හුදෙක් නීතිමය ලේඛන පමණක් නොවෙයි. ඒවා යනු ජාතියක් විසින් තමන්ව පාලනය කරගනු ලබන චිරස්ථායී වටිනාකම්වල ප්‍රකාශනයන්. නමුත් ඇතැම් විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ද අවශ්‍ය වෙනවා. ඇත්ත වශයෙන්ම, වෙනස් වන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් පරිණාමය විය යුතුයි. කෙසේ වෙතත්, අධිකරණය තරම් මූලික ආයතනවලට බලපාන වෙනස්කම් සඳහා ප්‍රවේශ විය යුත්තේ, ඉතා පරිස්සමින් මෙනෙහි කිරීමෙන්, පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් සහ එහි අවශ්‍යතාවය පැහැදිලිව පෙන්වා දීමෙන් අනතුරුව ඉතා ඉහළ සැලකිල්ලකින් යුතුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් මගින් සැමවිටම ආයතන ශක්තිමත් කළ යුතු අතර, කිසිවිටෙකත් ඒවා කෙරෙහි ඇති මහජන විශ්වාසය දුර්වල නොකළ යුතුයි.
අවසාන වශයෙන්, අද දින සාකච්ඡාව පුද්ගලයන් ගැන නෙවෙයි. එය දේශපාලනය ගැනත් නෙවෙයි. එය ආයතන පිළිබඳවයි. එය තාවකාලික දේශපාලන තත්ත්වයන්ට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත මූලධර්ම ශක්තිමත්ව පවතින බව සහතික කිරීම පිළිබඳවයි. එය විනිසුරුවරුන් පරම්පරා ගණනාවක් තිස්සේ මෙම ජනරජයට කළ සේවය වෙනුවෙන් උපයාගත් විශ්වාසය ආරක්ෂා කිරීම පිළිබඳවයි.
බෙදීමක් ඇති කිරීමේ අරමුණින් නීතීඥ සංගමය මෙම සංසදය කැඳෙව්වේ නෑ. මෙවැනි වැදගත්කමක් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලු සම්බන්ධයෙන් කල්පනාකාරී, ගෞරවනීය සහ දැනුවත් සාකච්ඡාවක් අවශ්‍ය වන නිසයි අප මෙය කැඳවා තිබෙන්නේ. මා කලින් සඳහන් කළ පරිදි, නීතීඥ සංගමයේ අද දින ස්ථාවරය 2026 මැයි 25 වන දින අතිගරු ජනාධිපතිතුමා වෙත අප යොමු කළ ලිපියේ දක්වා ඇති අතර, අප සමඟ අද මෙහි සිටින වෘත්තිකයන් සහ නීති වෘත්තියේ සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් එය තවදුරටත් පැහැදිලි කරනු ඇත.
අපගේ පොදු අරමුණ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීම කෙරෙහි ඇති මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීම බව මතක තබා ගනිමින්, විවෘත මනසකින් යුතුව සවන් දෙන ලෙස මම ඔබ සැමට උනන්දු කරනවා. ලෝඩ් හීවාර්ට් (Lord Hewart) වරක් පැවසූ පරිදි, “යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නොවේ, එය ඉටුවන බව පැහැදිලිව පෙනෙන්නටද තිබිය යුතුය.”





