/ Jul 05, 2026

මන්නාරම සුළං විදුලි බලාගාරය : අවසන් ටර්බයින තොගයත් එයි ඉතිහාසයේ අඩුම මිලට විදුලි ඒකකයක්!

මන්නාරමේ මේ වන විට වැඩකටයුතු ආරම්භ කර ඇති HayWind සුළං විදුලි බලාගාරය සඳහා අවශ්‍ය වන අවසාන ටර්බයින තොගය ද ත්‍රිකුණාමල වරායට ළඟා වී ඇති බව වාර්තා වේ.

50 MW ධාරිතාවයකින් යුක්ත මෙම සුළං විදුලි බලාගාරයට අවශ්‍ය පළමු ටර්බයින තොගය මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන ආ අතර එම ටර්බයින මේ වන විට අදාළ ස්ථානයේ ස්ථාපනය කරමින් ඇත.

මෙහිදී විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම්ගත වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 0.0465ක මුදලකට (ශ්‍රී ලංකා රුපියල් 14.37) වන අතර එය මෙරට ඉතිහාසයේ සුළං බලයෙන් නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවනු ලබන අඩුම මිල ලෙස වාර්තා වේ.

බලාගාරය සක්‍රීය වීමෙන් පසු පොසිල ඉන්ධන ආනයනය සීමා වන නිසා වසරකට රුපියල් බිලියන 4.7ක පමණ විදේශ විනිමයක් රටට ඉතිරි කර ගැනීමට මෙම ව්‍යාපෘතිය හරහා අවස්ථාව උදා වේ.

එමෙන්ම වාර්ෂිකව වායුගෝලයට එක් වන කාබන් විමෝචනය මෙට්‍රික් ටොන් 186,300කින් පමණ අඩු කිරීමට මෙමගින් හැකියාව ලැබේ.

2030 වන විට මෙරට ජාතික විදුලිබල පද්ධතියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කිරීමේ ජාතික බලශක්ති ඉලක්කයට ළඟා වීමට මෙම බලාගාරය මහෝපකාරී වනු ඇත. එමෙන්ම 2050 වන විට ​ශ්‍රී ලංකාව ළඟා වීමට අපේක්ෂා කරන ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන (Net Zero) ඉලක්කය සපුරා ගැනීමට ද මෙමගින් දායකත්වය ලැබෙනු ඇත.

ඉකුත් ජනවාරියේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කළ අතර 2027 මාර්තු මාසය වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කර 50 MW ධාරිතාවකින් යුත් විදුලියක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය.

තරඟකාරී ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලියෙන් තෝරාගත් Hayleys Fentons PLC සමාගම විසින් මෙම ටර්බයින ස්ථාපනය කරනු ලබන අතර එහි නඩත්තු කටයුතු ද ඔවුන් විසින් සිදු කරනු ඇත. බලශක්ති අමාත්‍යංශයට අයත් ජාතික පද්ධති කළමනාකරු සමාගම (National System Operator – NSO) විසින් පද්ධති පාලනය සහ කළමනාකරණය සිදු කරනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top