/ Jul 07, 2026

මීගමුව බන්ධනාගාරයේ මොකද වුණේ? ඇමති පාර්ලිමේන්තුවට කියපු කතාව!

මීගමුව බන්ධනාගරය තුළ පසුගිය දින තුළ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් දැනට තිබෙන තොරතුරු අනුව ඊට හේතු වී ඇති කාරණා සහ ගැටුම අතර බන්ධනාගරය අභ්‍යන්තරයේ සිදුව ඇති දේ සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැහැදිලි කිරීමක් කළේය.

එහිදී ඔහු පැවසුවේ රැඳවියන් අතට යුධ කිහිපයක් ගොස් ඇති අතර ඔවුන් බන්ධනාගර ඇතුළත යකඩ ගේට්ටුව කඩ ගෙන ඉදිරිපසට පැමිණ ඇති බවයි.

යම් හෙයකින් ඔවුන් පිටටත් පැමිණියේ නම් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් බන්ධනාගර ගැටුම සම්බන්ධයෙන් සිදුවන විමර්ශන අනුව ඉදිරියේදී කරුණු කාරණා නිශ්චිත ලෙස තහවුරු වන ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

”රැඳවියාගේ ජීවිතයට එක වටිනාකමකුත් බන්ධනාගාර නිලධාරියාගේ ජීවිතයට තව වටිනාමකුත් අපිට දෙන්න බැහැ. ඒක අපි කරන්නෙත් නැහැ. නමුත් සිදුවෙච්ච සිදුවීම අරන් බැලීමේදී සමහර දේවල මම පැහැදිලි කරන්න ඕනේ. 2026.07 05 දින පෙරවරු 11.00 ට පමණ තමයි මීගමුව බන්ධනාගාරයේ රඳවා තිබෙන රැඳවියන් අතර ගැටුමක් වෙන්නේ. එතන 35ක් තුවාල ලබනවා. රැඳවියන් දෙදෙනෙක් මියයනවා. ඒක සමථය කරගන්නත් හැකි වෙනවා. ප්‍රහාරය එන්නේ බන්ධනාගාර නිලධාරීන්ට නෙවෙයි. පසුවෙනිදා උදසන නැවත ඉතාම ක්ෂණිකව ඔවුන්ට ආහාර දීලා උසාවි යන වැඩවලට ලෑස්ති කරද්දී ඉතාම ක්ෂණයෙන් නැවත මේ දෙපාර්ශවය අතර ගැටුමක් නිර්මාණය වෙනවා. අපි ඒ ගැටුමේ පසුබිම බලමු. මම මේ වචන පාවිච්චි කරන්නේ කියන්න වචන නැති නිසා. කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක කියල තමයි කියන්න වෙන්නේ අකමැත්තෙන් හෝ. ඔබල දන්නවා ඇතුළට එන නීති විරෝධී ද්‍රව්‍ය නවත්වන්න ඉතා දැඩි නීති සියල්ල භාවිතා කරනවා. එකක තමයි යම් රැඳවියන් කළමනාකාරිත්වයට තොරතුරු දෙනවා. අන්න එහෙම තොරතුරු දීපු රැඳවියෝ තමයි ඉස්සෙල්ලම ප්‍රහාරයට ලක්වෙන්නේ. ඒ නිසා අපි හිතනවා මත්ද්‍රව්‍ය සහ පාතාලය අතර තොරතුරු දීම නිසා ඇතිවුණු දෙයක්විය හැකියි. මතක තියාගන්න මා කියන මේ සියලුම කරුණු අවසානයේ තීන්දු වෙන්නේ සියලු විමර්ශන කමිටු වාර්තාවලින් පසුව. මා මේ ඉදිරිපත් කරන්නේ මේ මොහොතේ නිශ්චිතව තිබෙන තොතුරු පමණයි. මේ දේවල් ඉදිරියේදී පරීක්ෂණ හරහා වෙනස් විය හැකියි.

මොවුන් ප්‍රහාර එල්ල කරලා CCTV කැමරා ටික කඩනවා. හැමෝම නෙවෙයි සංවිධානාත්මක කෙටි පිරිසක්. තුවාල ලබපු අහිංසක මිනිස්සුත් මෙතන ඉන්නවා. ඊට පසේ බොඩි ස්කෑනරයක් තියෙනවා මිලියන ගාණක ඒවා ඔක්කොම ඩිස්ට්‍රොයි කරනවා. මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඔවුන් මේ බන්ධනාගරය ඇතුළට නාකොටික් සහ අනීතික දේවල් ඒම වලක්වන්න තියෙන යාන්ත්‍රණය අඩපණ කිරීමට සංවිධානාත්මක කටයුතු කළ බවක් තමයි පේන්නේ. හත්වෙනිදා ප්‍රහාරයට ලක්වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන්ට පහර දෙද්දී ඔවුන්ව බේරන්න තමයි අනික් නිලධාරීන් යන්නේ. බහුතරයක් මියගිය නිලධාරීන් ඇත්තටම රැඳවියන්ගෙන් පහර කාලා තමයි මියයන්නේ. ඉතාම අමානුෂික පහර දීමකට ලක්කරලා තිබෙන්නේ. ගඩොල් වලින් පොලුවලින්.

අපි මේ මොහොතේ කියන්න ඕනේ දිවි හිමියෙන් ඒ රැකියාව කරපු නිලධාරී මහත්වරුන්ට අපේ ගෞරවය තිබෙනවා. ඊට පස්සේ මතුවන දේ තමයි ඔවුන් යකඩ ගේට්ටුව කඩාගෙන ඉතා කෙටි දුරක් තියෙනවා එතනට එනවා. එතනින් එළියට ඔවුන් ආව නම් ඔවුන් පාරේ. විශාල හානියක් කරන්න ඉඩ තිබුණා. ඒ වගේම දැනට තිබෙන තත්ත්වය අනුව ඔවුන් අතර යම් ආයුධයක් දෙකක ගිහින් තියෙනවා. ඒක කොහොමද වුණේ? ආමරියෙන් ගත්තද? නැත්නම් ප්‍රිසන් නිලධාරියෙක් අතේ තිබිල උදුරා ගත්තද? මේවා විමර්ශනයෙන් දැනගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් දැනට තිබෙන තොරතුරු අනුව පරිසන් ඔෆිසර්ස්ලා තමන්ට තියෙන බලතල අනුව ආත්මාරක්ෂාවේ අයිතිය සහ තත්ත්වය පාලනය කරන්න වෙඩි තියල තියෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top