/ Oct 27, 2026

කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනයට සෙවූ ප්‍රධාන සැකකාරිය ඩුබායිහිදී අත්අඩංගුවට!

අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබූ අනුෂා ලක්මාලි හෙවත් ‘අචිනි’ නමැති කාන්තාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඝාතනයට ලක් වූ “කජ්ජා” නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති අතර ඝාතනයට ලක්වන අවස්ථාව වන විට “කජ්ජා” වෙත අවසාන දුරකථන ඇමතුම සහ කෙටි පණිවිඩය ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය බව අනාවරණය වී තිබේ.

“බැකෝ සමන්” නැමැත්තාගේ උපදෙස් මත, ආහාර ගැනීම සඳහා “කජ්ජා” සහ දරු දෙදෙනා අදාළ අවන්හල වෙත උපායශීලීව කැඳවාගෙන යාම සිදු කර ඇත්තේ ද ඇය විසින් බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.

එලෙස ආහාර ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණි.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි මෙම සැකකාරිය මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරට වෙත ගොස් තිබුණු අතර ඒ අනුව, අද දින අලුයම 05.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇයගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top