නව පරම්පරාවේ දේශපාලන බලවේගයක් ලෙස ජනතාව සමඟ එකතු වී රට ගොඩනැඟීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) ඔබේසේකරපුර ප්‍රජා ශාලාවේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසන ජන හමුව අමතමිනි.
ආණ්ඩුව බලයට පැමිණියේ විශාල බලාපොරොත්තු ඇති කරමින් වුවද බලයට පැමිණි පසු ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
රැකියා බලාපොරොත්තුවෙන් පැමිණි උපාධිධාරීන්ට පවා අසාධාරණයට මුහුණ දීමට සිදු වූ බවත් කර්මාන්ත හා ආයෝජන අඩුවීම නිසා රැකියා අවස්ථා නැති වෙමින් තිබෙන බවත් හෙතෙම කියාසිටියේය.
”අද අපි ගම්වලට යන විට අපි සමඟ විශාල පිරිසක් එකතු වෙනවා. අපට ඡන්දය දුන්නත්, නොදුන්නත් මේ රටේ සෑම පුරවැසියෙක්ම අපේ ජනතාවයි. වැඩ කරපු දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනතාවගේ විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමේ ශක්තිය තිබෙනවා. රටේ නිෂ්පාදන ආර්ථිකය දුර්වල වෙමින් තිබෙනවා. බදු වැඩිවීම, පොලී අනුපාත ඉහළ යාම සහ ව්‍යාපාරිකයන්ට ඇති පීඩනය නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා.ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් තිබෙනවා. විදුලි, ජල හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. රජයක් යනු ජනතාවගේ දුක තේරුම් ගෙන විසඳුම් ලබාදෙන ආයතනයක් විය යුතුයි. බන්ධනාගාර සිද්ධිය වැනි සංවේදී කරුණු පිළිබඳව සත්‍යය හෙළි කළ යුතුයි. ඇමැතිතුමා සමාජ මාධ්‍යයෙන් තොරතුරු දැනගන්නේ මේකයි රටේ තත්ත්වය… එවැනි සිදුවීම් දේශපාලන වාසි සඳහා භාවිත නොකර, සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතුයි. අද අපට අවශ්‍ය වන්නේ වෛරය, ඉරිසියාව සහ බෙදීම් මත පදනම් වූ දේශපාලනයක් නොව, ජනතාවගේ දුක තේරුම් ගන්නා, සංවර්ධනය සහ මනුෂ්‍යත්වය මත ගොඩනැඟුණු දේශපාලන බලවේගයක්.” යැයි හෙතෙම වැඩිදුරටත් පෙන්වාදෙන ලදී.






