හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ ඉදිකළ කොළඹ නිදහස් චතුරස්රයේ පිහිටි සුප්‍රසිද්ධ ඇවිදින මංතීරුව මේ වන විට අබලන් වී ඇති බවත් ඉන් යමෙකුට බරපතල අනතුරක් සිදු වීමට පෙර මේ පිළිබඳව සොයා බලන ලෙසත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසයි.
මීට වසර පහළොවකට පමණ පෙර ඉදි කරන ලද මෙම මංතීරුව කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචි බොහෝමයක් දෛනිකව භාවිත කරන නමුත්
වත්මන් නඩත්තු කටයුතු අඩාල වීම හේතුවෙන් මංතීරුවේ මතුපිට ගැලවී ගොස් තියුණු ගල් පොළොවෙන් ඉහළට නෙරා විත් ඇති බවත් වයෝවෘද්ධ පුද්ගලයින් මින් ඇද වැටී තුවාල ලැබීමේ දැඩි අවදානමක් පවතින බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.
එමෙන්ම, මංතීරුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රැගෙන ආ පස් ද මාස ගණනාවක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බවයි ඔහු පවසන්නේ.
යමෙකුට බරපතළ අනතුරක් සිදුවීමට පෙර මේ පිළිබඳව සොයා බලා කඩිනම් පියවරක් ගන්නා ලෙස ඔහු සිය X පණිවිඩය හරහා නගරාධිපතිගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.
මේ අතර කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය මෙම X පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සහ අදාළ අමාත්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් තොරතුරු බෙදා ගැනීම පිළිබඳව ඇය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට සිය කෘතඥතාවය ද පළ කර ඇත.






