2012 වසරේදී ග්‍රීසියේ ආර්ථිකය කඩාවැටෙමින් තිබියදී එහි බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 184ක් පාඩුකිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ, මනෝජ් තල්ගොඩපිටිය, උදේශ් රණතුංග සහ බුද්ධික සී. රාගල යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ එම නඩුව ඊයේ (13) කැඳවූ අවස්ථාවේදී ය.
විත්තිය සිය මූලික විරෝධතාවෙන් ප්‍රකාශ කර තිබුණේ විත්තිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ පවරා තිබුණු HCB 271/24 සහ HCB 33/24 යන නඩුවල අඩංගු වූ චෝදනා මෙම නඩුවේ චෝදනාවලට සමාන බවත් එම නඩු කටයුත්ත අවසන්ව ඇති හෙයින් නැවත වරක් එම චෝදනා මත නඩුවක් පවත්වාගෙන යෑම නීතිවිරෝධි බවයි.
ඊට පිළිතුරු වශයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියා සිටියේ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2018 අංක 9 දරන පනතේ ප්රතිපාදන ප්රකාරව මෙම නඩුව පැවරීමෙන් සිදුව ඇත්තේ පරිපාලනමය ක්රියාවක් බවය.
ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට ඒකමතිකව තීරණය කර තිබූ අතර ඒ අනුව, මෙම නඩුවේ පූර්ණ විභාගය ජූලි මස 20 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.






