/ Jul 21, 2026

දිට්වා හේතුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

දිට්වා සුළි කුණාටුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන් රැක බලාගැනීම වෙනුවෙන් වූ මාසික දීමනාව කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

අදාළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සිදුකළ සමාලෝචනයෙන් අනතුරුව එම දීමනාව කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

සමාජය තුළ සිටින අනාරක්ෂිත දරුවන් හඳුනා ගැනීමේ සහ ඔවුන් එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය සහ ක්‍රියාකාරිත්වයද මෙහිදි සාකච්ඡාවට ලක් කෙරිණි. මෙම කටයුතුවලදී නිවැරදි දත්ත පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා 2027 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම එම දත්ත මත පදනම්ව සිදු කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට අදාළව 2026 වර්ෂයේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබේ.

වීදි ළමුන් සඳහා වන ජීවන වියදම් දීමනාව, ගර්භණී මව්වරුන් සඳහා පෝෂණීය ආහාර දීමනාව, පෙරපාසල් ළමුන් සඳහා උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහන, පෙර පාසල් ගුරුවරුන් සඳහා වන ගුරු අභිමානී දීමනා වැඩසටහන ඇතුළු වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බලා ඇති බව සඳහන්ය.

ගර්භණී මව්වරුන්ගේ පෝෂණය සහතික කිරීම ඉලක්ක කර ගනිමින් ගර්භණී මව්වරුන් සඳහා ලබාදෙන පෝෂණීය ආහාර දීමනාව නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top