ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණය ඇතුළු සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (27 වැනිදා) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
මහාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ පමණක් නොව සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි මේ සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසන්නේ.
ඒ අනුව ඊට අදාළ පියවර ගනිමින් සිටින අතර මෙම යෝජනාවට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත වූ පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම රජයේ ස්ථාවරය වී තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.
කෙසේවෙතත් රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් දැඩිව සිය විරුධත්වය ප්‍රකාශ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමර්ග ගැනීම සඳහා විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවේදී මෙන්ම විපක්ෂ නායක කාර්යාලයේදීද රස වී තිබුණි.
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව ගත් තීරණය විසින් ආණ්ඩුවේ ආයු කාලයද තීරණය වන බවයි විපක්ෂ මන්ත්‍රීවරු පවසා තිබුණේ.
මේ අතර රජයේ මෙම තීරණයට එරෙහිව මහා සංඝරත්නය අද (27 වැනිදා) කොළඹ දී මහා සමුළුවක් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අයත් නීතිඥවරු 26,000 ක් එළඹෙන 29 වැනිදා කොළඹදී නීතිඥ සමුළුවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.






