තමන්ගේ පුත්‍රයා මුදල් කොල්ලකෑමේ චෝදනාවට අදාළව කිසිදු ඔප්පු කළ හැකි සාක්ෂියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පලකළේ ඔහුගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
තමන් සක්‍රීය දේශපාලනයේ නියැලෙන බැවින් තමන්ගේ පුත්‍රයා ඉල්ලක්ක කරගෙන පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ හා විවිධ මාධ්‍යයන් ඔස්සේ විශාල වශයෙන් අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කර තිබූ බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් දීර්ඝ විමර්ශනයක් සිදුකර තිබීම යහපත් තත්ත්වයක් බවත් වරදක් කර ඇත්නම් ඕනෑම අයෙකු දඩුවමට යටත්විය යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
එමෙන්ම අධිකරණය පිළිබදව තමන් දැඩිව විශ්වාස කරන බවද සත්‍ය කෙසේ හෝ ජයගන්නා බවද හෙතෙම පැවසීය.
චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාගේ පුත් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.






