/ Jul 31, 2026

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන ඇරඹේ!

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්ම යථාර්ථයක් කරමින්, සෑම පවුලකටම සුරක්ෂිත සහ ගෞරවනීය නිවසක් හිමි කරදීමේ අරමුණින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම, සමාජ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ අඩු ආදායම්ලාභී පවුල්වලට ස්ථාවර නිවාස හිමිකමක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ. තමන්ට හිමි ඉඩම් කොටසක් පැවතුණද තාවකාලික හෝ අසුරක්ෂිත නිවාසවල ජීවත් වන, කුඩා දරුවන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් මෙම නිවාස ආධාර වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන සෑම නිවසක්ම වර්ග අඩි 550කින් සමන්විත වන අතර, සාලයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයක් ඇතුළත් වේ. එක් නිවසක ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් ලක්ෂ 20ක් වන අතර, ඒ සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාරයක් සහ අවශ්‍ය තාක්ෂණික උපදේශන නොමිලේ ලබාදේ. ඉතිරි රුපියල් ලක්ෂ 10ක වටිනාකම ද්‍රව්‍ය සහ ශ්‍රම දායකත්වය ලෙස ප්‍රතිලාභීන් සහ ප්‍රජාව විසින් සපයනු ලබයි.

මෙම වැඩසටහන යටතේ 2026 වසර සඳහා දිවයින පුරා නිවාස 9,418ක් ඉදිකිරීමේ ඉලක්කයක් තබා ඇත. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සඳහා නිවාස 257ක් වෙන්කර ඇති අතර, එහි පළමු අදියර ලෙස තෝරාගත් ප්‍රතිලාභී පවුල් 150ක් සඳහා නිවාස ආධාර හිමිකම් චෙක්පත් ප්‍රදානය අද (31) ඌව පළාත් ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාරයක් බැගින් ප්‍රදානය කෙරෙන අතර, මෙම පවුල් 150 වෙනුවෙන් රජය ආයෝජනය කරන මුළු මුදල රුපියල් ලක්ෂ 1,500ක් (රුපියල් මිලියන 150ක්) වේ.

මෙම අවස්ථාව සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල මහත්මිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභී පවුල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top