අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.
2020 අගෝස්තු 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුව නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමේ විශේෂ පොලිස් පණිවිඩය ඊයේ (07) දිනයේදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කර තිබුණි.
තමන්ට 2020 වසරේ සිට හිමිවිය යුතුව තිබූ නියෝජ්‍ය පොලිස්පති තනතුර ලබානොදීමට එරෙහිව ශානි අබේසේකර මහතා විසින් පරිපාලන අභියාචනා විනිශ්ච්යාධිකාරයට ඉදිරිපත් කළ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව මැයි 13 වනදා ලබාදුන් තීන්දුවක් අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම උසස්වීම ලබාදී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළ විමර්ශන නිලධාරියෙක් ලෙස මහත් ආන්දෝලනයට තුඩු දුන් විමර්ශන රැසක් ඔහු විසින් මෙහෙයවන ලද අතර මේ වන විට පාස්කු ඉරි දින ප්‍රහාරයට අදාළ විමර්ශන ද මෙහෙයවමින් සිටින්නේ ඔහුගේ මඟ පෙන්වීම යටතේය.
දේශපාලන පළිගැනීම්වලට පවා ලක්වූ නිලධාරියෙක් ලෙස පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ඔහුට බන්ධනාගාර ගතවීමටද සිදුවිය.






