ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත දේශන හෙට (11) ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
එම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක සභිකයන් වන සුනිල් ජයසේකර සහ උදය කළුපතිරණ ගොනු කළ පෙත්සමට අදාළව මෙම නියෝගය ලබා දී ඇත.
අදාළ පෙත්සම පසුගිය 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, එය විභාගයට නොගෙන ඉවත දමන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දෙපාර්ශ්වයට අවස්ථාව ලබාදෙමින් ලිඛිත දේශන හෙට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත සම්මත කර යෝජිත ආයතනය ස්ථාපිත කළහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට සීමා පැනවීමක් සිදුවිය හැකි බව පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
එබැවින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් නොව ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
මානෙල් ඩේවිඩ්





