/ Aug 15, 2026

වරලත් ආයතනය මාධ්‍ය ක්ෂේත්‍රය දෙකඩ කිරීමේ වෑයමක් – නීතිඥ සංජය විල්සන් ජයසේකර

සමාජ අර්බුදය විද්‍යමාන වන සමාජ මාධ්‍ය මාධ්‍ය වෘත්තිකයන්ගේ වරලත් ආයතනයේ පැහැදිලි ඉලක්කයක් යැයි නීතිඥ සංජය විල්සන් ජයසේකර ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී අද(14) පැවැසී ය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, එන්.ජී.ඕ කෙටුම්පත සහ වරලත් ආයතනයෙන් ප්‍රක්ෂේපණය වන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දේශපාලන හරය යැයි ද ඔහු කීය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බලපෑමක් මෙමගින් එල්ල වන පසුබිමක එම තත්ත්වය අභියෝගයට ලක්කිරීමට ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය අසමත්වීම ද කැපී පෙනෙන කරුණක් යැයි ජයසේකර මහතා කීය.

මහජනයා අතර මාධ්‍යවේදියා අරබුදයට යවා මාධ්‍ය ක්ෂේත්‍රය දෙකඩ කිරීමේ උපක්‍රමික වෑයමක් ද මෙහි ඇතැයි නීතිඥ ජයසේකර එහිදී චෝදනා කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ යෝජිත මාධ්‍ය වෘත්තිකයන්ගේ වරලත් ආයතනය සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයකදීය.

එහිදී ඔහු මෙසේ ද කීය.

සමාජවාදී සමානතා පක්ෂයේ විප්ලවවාදී කණ්ඩායම හැටියට සෝෂලිස්ට් වෙබ්අඩවියෙන් ‘මාධ්‍ය නිදහසේ ගෙල සිරකිරීමක්’ නමින් මේ කෙටුම්පතේ භයානක ස්වරූපය ගැන අපි ජුනි 30 දා ලිපියක් පළ කළා.

මෙහිදී යම්කිසි ආයතනයක් පිහිටුවනවා තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න ආණ්ඩුවෙන් අවසර ගන්න. ආණ්ඩුවෙ සෙටිෆකට් එක නැතිව අදහස් ප්‍රකාශ කරන්න බෑ. ව්‍යවස්ථාව යටතෙ ගත්තත් කිසි කෙනෙකුට මේක සාධාරණීකරණය කරන්න බෑ. කම්කරු ව්‍යාපාරයෙ ඇතුළෙ එදා ඉඳල ම අදහස් ප්‍රකාශ කිරීම මූලික අයිතියක්. පිළිගැනීම නැති කෙනා ගැන අදහසක් ඇතිකරනවා මහජනයා අතරේ මෙයාට අදහස් ප්‍රකාශ කරන්න සුදුසු නෑ කියල. දැන් සමාජ මාධ්‍යයේ ඕන තරම් ලියනවා. මේකෙන් පස්සෙ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට ප්‍රශ්නයක් එනවා. මේ කාරණාව දැනටමත් ප්‍රායෝගිකව වෙනවා. ආණ්ඩුවෙ මීඩියා අයිඩින්ටි කාඩ් එක නැතිව කැබිනට් වාර්තා කරන්න දැන් යන්න බෑ.

ඒකට විරුද්ධ වූ මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය හමුවට දැන් යන්නේ නෑ. උදාහරණයට පොලිසි⁣යෙන් යමක් වාර්තා කරද්දි අහනව කෝ ඔයාගෙ මීඩියා අයිඩී එක කියල. හැබැයි පොලිසියත් දන්නව පුරවැසියකුට සමාජ මාධ්‍යයේ අදහස් පළකරන්න පුළුවන් කියල. ඉස්සරහට අයිඩී විතරක් නෙවෙයි ලයිෂන් එකේ ප්‍රශ්නයකුත් එනවා. ගොවි උද්ඝෝෂණයකට ගියා කියන්න. එතැනදි අහනව වරලත් ආයතනයේ සාමාජිකයෙක්ද කියල. සංස්ථාපිත මාධ්‍ය ආයතනවල අය මේකට කැමැති වෙන්න පුළුවන් අපටත් සහතිකයක් තියෙනව කියලා.

කෙටුම්පත එන්න කලින් පාර්ලිමේන්තුවෙ නියෝජ්‍ය ඇමැතිවරිය රක්ෂණ අවස්ථා වැනි වරදාන ලැබෙනවා පෙන්ෂන් ස්කීම් ගැන කිව්වා.
මේක ඉදිරිපත් කරන්නෙ මාධ්‍ය දෙකට කඩන්න. හැබැයි සමස්ත වශයෙන් ප්‍රකාශනයේ නිදහසට වෙන්නෙ මොකද්ද කියල අපි විමසිය යුත්තේ.

මහජනයාට දරන්න බැරි තරම් බඩු මිල ඉහළ ගිහින්. තුන් වේල ප්‍රශ්නයක්. කෝ උද්ඝෝෂණ? ලංකාවෙ වෘත්තිය සමිති කම්කරුවන්ගෙ දැවෙන ප්‍රශ්න යටගහන් ඉන්නෙ. ඒවා කන්ට්‍රෝල් කරන් ඉන්නෙ ජාජබ ආණ්ඩුව.

සමාජ අර්බුදය විද්‍යමාන වෙන්නෙ කොහෙන්ද? සමාජ මාධ්‍යයෙන්. මේ අත තියන්නේ එතැනට. බදු ගැසීම මධ්‍යම පංතියට දැනෙනවා. කැකෑරෙන අර්බුදය ආණ්ඩුව හොඳට දන්නවා.

22 වැනි සංශෝධනය, වරලත් ආයතනය, NGO පනත සියල්ලේ තිබෙන්නෙ එකම දේශපාලන හරයක්. ලංකාවෙ වෘත්තිය සමිති මොනවද කළේ මේ පනත ගැන? කොහෙද උද්ඝෝෂණ කළේ මේකට. විපක්ෂයේ සමිතිත් අයිඑම්එෆ් වැඩපිළිවෙළ එක්ක එකට ඉන්නවා. ඒකත් එක්ක කිසිම කණ්ඩායමකට මේකට විරුද්ධ වෙන්න බෑ. යථාර්ථය ඒකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top