ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා සහ තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකුද අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන විත් තිබේ.
අද රාත්‍රී 08:48ට Air Arabia ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.
ශිරාන් බාසික් නැමැත්තා මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම සිදුකරන මහා පරිමාණ ජාවාරම්කරුවෙක් වන අතර ඔහු ඩුබායි රටට පලා ගොස් තිබුණේ 2018 වසරේදීය.
ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කරන ලද රතු වරෙන්තුවකට අනුව ඔහුව පසුගිය මැයි 26 වැනි දින ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඩුබායිහි ධන කුවේරයෙක් ලෙස සැඟවී කටයුතු කර ඇති ශිරාන් බාසික් කොළඹ සහ කොළඹ දකුණු ප්‍රදේශවල ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම දැඩිව ව්‍යාප්ත කර තිබී ඇත.
වෙලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට පසුව සිටින ප්‍රබතලම ජාවාරම්කරු ලෙස ඔහු සැලකෙන අතර මෙරටට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන 05 දෙනාගෙන් එක් අයෙකු බවද සැලකේ.
ඩුබාහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික්ව මෙරටට ලබාදීමට ආරක්ෂක අංශ සූදානම්ව නොසිටිය ද ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක අංශ සිදු කළ විශේෂ ඉල්ලීම් මත ඔහුව පිටුවහල් කිරීමට ඩුබායි පොලීසිය එකඟවී ඇති බව සඳහන්ය.
කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන යාමට නියමිත අතර ඒ වෙනුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා ඇතැයි සඳහන්.
දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති ඔහු 48 හැවිරිදි වියේ පසුවන්නෙකි.






